තාත්තලාට දරුවන් එපා ද?

තාත්තලාට දරුවන් එපා ද?

හැම පැත්තෙන් ම ඇසෙන්නේ සාදුකාර හඬ ය. තැනෙක බෝධි පූජාවෙකි. තව තැනෙක ධර්ම දේ්ශනාවකි. තවත් තැනක පිරිතකි. උදේ, දවල්, රාත්‍රී වෙනසක් නැතිව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ධර්ම උපදේශන අසන්නට – දකින්නට ලැබේ. අනේ සාදු! අපේ රට ධර්ම ද්වීපයකි. නිර්මල බුදුදහම පවතින ධර්ම රාජ්‍යයෙකි. ඒ අපේ මව් බිමේ එක් පැත්තක දර්ශන පෙළයි. අනෙක් පැත්තේ දර්ශන පෙළ දකින හා අසන විට ඇඟ කිළිපොලා යයි. තාත්තලා සිය සිඟිති දරුවන් පොළොවේ ගසා මරති. තව තාත්තලා දරුවන් ගඟට තල්ලු කරති. තවත් තාත්තලා තමාගේ දියණිය දූෂ්‍ය කරති.

දෙහිඅත්තකණ්ඩිය පැත්තෙන් වාර්තා වී ඇත්තේ සිය සිඟිති දරුවා බඩගින්නේ හඬන විට දරුවාගේ ඔළුවෙන් අල්ලා පොළොවේ ගැසූ තාත්තා කෙනකු පිළිබඳ අප්‍රසන්න කතාවකි. පියා දරුවා රැගෙන රෝහලට ගොස් වෛද්‍යවරයා ට කියන්නේ දරුවාට පිට් එක හෙවත් අපස්මාරය කියා ය. මෙබඳු තාත්තලාට දිය යුතු දඬුවම කුමක් ද? උන් උළ තැබිය යුතු ද? හිස ගසා මරා දැමිය යුතු ද? නැතහොත් ගිනිලා මරා දැමිය යුතු ද? ශ්‍රී ලංකාව ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ද නීති ගරුක රාජ්‍යයක් ද වන බැවින් නඩු අසා මේ කාලකණ්ණියා හිරේ දැමිය යුතුය.

දකුණේ තව තාත්තා කෙනෙක් සිය දියණියන් දෙදෙනා නිල්වලා ගඟට තල්ලු කළහ. එක්තරා ගැහැනියක් මේ විපත නැවැත්වීමට උත්සාහ කළ ද, ඇයට ද තර්ජනය කළ මෝඩ තාත්තා දැරියන් ගඟට තල්ලු කළේ ය. මේ පුද්ගලයාට මෝඩ තාත්තා යැයි කියන්නේ ශාස්ත්‍රකාරයකුගේ උපදේශනයකට අනුව අපලයකින් මිදීම සඳහා මේ අපරාධයට යොමු වූ බව දැන ගන්නට ඇති බැවිනි. කෙසේ වුව ආරක්ෂක අංශවල නිලධාරීන් හතර දෙනකුගේ මැදිහත් වීම නිසා දරු දෙදෙනාගේ ජීවිත බේරිණි. මේ අතර ඉපදුණු හැටියේ කිරි කැටි බිලිඳකු කැලණි ගඟට වීසිකර තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සත්‍යය ලෙස ම ගත් කල දැන් බොහෝ මිනිස්සු තිරිසනුන් සේ කටයුතු කරති. දරුවන් උදෙසා සිදුකරන අපරාධ දෙස බලන විට පෙනී යන්නේ මේ මිනිසුන් තිරිසනුන් ට ද අන්ත ලෙස ක්‍රියා කරන බව ය. හැපිනිය පැටවු දැමූ කාලයට පැත්ත පළාතෙන් කිසිවකුටත් යා නො හැකි ය. ගියොත් දෂ්ට කිරීම හැපිනිය ගේ සිරිත ය. කාක්කන්ගේ කූඩුවක් ළඟින් මොන ජගතකුටවත් යා නො හැකි ය. ගියොත්; ඕනෑම ජගතකුට කොටනු ඇත. ඒ තම පැටවුන්ගේ ආරක්ෂාව සඳහ ය. ලේන් අම්මා කෙනකු තම පැටියා බේරා ගැනීම සඳහා මහා සාගරය ඉසින්නට ගිය කතාවක් ජාතක පොතෙහි තිබේ.

තාත්තලාට, අම්මලාට හමා සමස්ත සමාජයට ම දිගට – හරහට බැණ වදින්නට කරුණු තිබේ. එහෙත් ඉතා සන්සුන් ලෙස මේ සමාජය විග්‍රහ කළහොත් අසහනය, කෲරත්වය, වෛරය මිනිසුන් අතර ව්‍යාප්ත වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඈත අතීතයේ සමූහ හෙවත් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ මිනිසා තුළ පවා මෙතරම් දරුණු පළිගැනීමක් හා ක්‍රෝධයක් තිබුණේ නැත. ශිෂ්ටත්වයත් සමඟ සහෝදර ප්‍රේමය, කරුණාව, සමගිය වැනි වේදිතයන් ස්ථාපිත විය යුතු වුව දැන් එය ආපස්සට ගමන් කරන බවක් පෙනෙන්නට තිබේ. මීට හේතුව කුමක් ද?

මිනිසා සන්සුන් කරන එක ම ක්‍රමවේදය ඇත්තේ ආගම හා දර්ශනය තුළ ය. ශ්‍රී ලංකාවේ ආගමික නායකයෝ ඉතා සන්සුන් ජීවිත ගත කරමින් නිතිපතා සමාජයට අවශ්‍ය උපදේශන ලබා දෙති. ඒ - ඒ ආගමික සමාජ මෙහෙයවති. නිදසුනක් ගතහොත් අපේ නායක හිමිවරු ඉතා ආදර්ශවත් ජීවිත ගත කරති. ඒ මගෙහි ම යන ලෙස තම අනුගාමික පිරිසට උපදේශන සපයති. මේ අතර තවත් හිමිවරු මහානායක හිමිවරුන් ගේ උපදේශන නො සලකති. ඇතැම් හිමිවරු ජාතිවාදය වපුරති. සිවුරු කරට ගෙන විරුද්ධවාදීන්ට තර්ජනය කරති. බුදු දහමේ කිසිදු තැනෙක වෙනත් ආගම්වලට අගරු කිරීමේ ඉඩ ප්‍රස්ථා නැත. එහෙත් අපේ ඇතැම් හිමිවරු අනෙක් ආගම්වලට ගරහති. ඉන් නො නැවතී එම සිද්ධස්ථාන විනාශ කිරීමට පෙලඹෙති.

බෞද්ධයා ඔය කියන භික්ෂු සංවිධානවල ආභාසය ලබා ගන්නේ නම් ඉබේ ම ප්‍රචණ්ඩත්වයට හුරු වෙනු ඇත. වෙනත් ආගමිකයනට පහර දෙනු ඇත. තම බිරියට පමණක් නොව දරුවාට ද පහර දෙනු ඇත. ඈත අතීතයේ සිට ම ශ්‍රී ලාංකික බෞද්ධයා තම ජීවිතය සකස් කර ගත්තේ පන්සල ආශ්‍රය කරමින් ය. ගෙදර යම් ගැටලුවක් වෙතොත් ඒ ගැන උපදේශනයක් ලබා ගැනීම සඳහා අවසන් ලෙස ගමන් කළේ පන්සලට ය. පන්සලේ ලොකු හාමුදුරුවෝ ගැටලුව විමර්ශනය කොට කිසිවකුට අගතියක් නොවන අයුරින් විසැඳුමක් ලබාදීම හැමදාමත් සිදු විණි.

දැන් ඇතැම් භික්‍ෂූන් වහන්සේ ට උපදේශනය සඳහා වේලාවක් නැත. ගමේ ධර්ම දේශනයක ට වේලාවක් නැත. උන් වහන්සේට උපවාස කිරීමට තිබේ. පෙළපාලි යෑමට තිබේ. අන්‍ය ආගමික සංවිධාන සමඟ රණ්ඩු ඇල්ලීමට තිබේ. මේ අනුසාරයෙන් බලාගෙන යන විට ඇතැම් භික්ෂූන් වහන්සේ ගේ මුළු ජීවිතය ම දේශපාලනික ය. තම දායකයා දෙස හැරී බලන්නට වේලාවක් උන් වහන්සේලාට නැත. සමාජය මේ තරමට පිරිහී ඇත්තේ ආගමික අංශ වෙතින් ඉටු විය යුතු උපදේශනය නිසි අයුරින් සිදු නොවන නිසා යැයි අපට නිකමට මෙන් සිතේ. එබඳු චෝදනාවක් ද සමාජය තුළ පවතී.

ශ්‍රී ලංකාවේ බෞද්ධයාගේ සකල විධ ක්‍රියාවලට පන්සලත්, භික්ෂූන් වහන්සේත් සම්බන්ධ ය. මේ සා දීර්ඝ කාලයක් අපේ සමාජය පැවතුණේ ද මහා සංඝ රත්නයට පින්සිදු වන්නට ය. අපේ සංස්කෘතිය, අධ්‍යාපනය පමණක් නොව දේශපාලනය පවා බෞද්ධ චින්තනයට අනුව සකස් විය.

ඒ සියල්ල විනාශ මුඛයට යමින් පවතින බව දැන් සිදුවන දේවලින් පෙනී යයි. මෙය වහා වෙනස් විය යුතු ය. ආගමික නියොජිතයන් ද තමන් ගේ කාර්යභාරය තේරුම් ගත යුතු ය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා