ආසියානු කලාපයේ ‍ලෝක තරුණ සමුළුවක් පැවැත්වීම ආසියාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයක්

ආසියානු කලාපයේ ‍ලෝක තරුණ සමුළුවක් පැවැත්වීම ආසියාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයක්

ලෝක තරුණ ජනගහනයෙන් 60%කටත් වඩා ජීවත් වන ආසියානු කලාපයේ ලෝක තරුණ සමුළුවක් පැවැත්වීමට හැකිවීම ආසියාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පෙරේදා (27) ප්‍රකාශ කළේය.

ලබන මස 06 වන දින සිට 09 වන දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ලෝක තරුණ සමුළුව පිළිබඳ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් සමඟ කළ සාකච්ඡාවේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ නාරාහේන්පිට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මේ සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

ලෝකයේ ප්‍රථම වරට ජාත්‍යන්තර මට්ටමේ තරුණ සමුළුවක් පවත්වා ඇත්තේ 1936දීයි. එයින් පසුව එක් අවස්ථාවක දී පමණයි සංවර්ධනය වෙමින් පවතින රටකට මේ අවස්ථාව ලැබී ඇත්තේ. මේ වන විට ලෝකයේ සංවර්ධිත න්‍යාය පත්‍රය මෙහෙයවන්නේ සහශ්‍ර සංවර්ධන දර්ශක මඟිනුයි. වසර 15ක් සඳහා සකස් කළ න්‍යාය පත්‍රයේ අවසාන වසර කීපයයි මේ ගෙවී යන්නේ. මේ වන විට ලෝක ජනගහනයෙන් භාගයක් තරුණයින්. ඒ නිසා මේ කිසිදු න්‍යාය පත්‍රයකට තරුණයා මඟහැරිය නොහැකියි. මේ නිසා ම සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණයා සම්බන්ද කර ගැනීම ජාත්‍යන්තර අවශ්‍යතාවක් වෙනවා.

මේ තරුණ සමුළුව තවත් එක් තරුණ කඳවුරක් නොවෙයි. කෑම, බීම ලබාදීලා තරුණයා සතුටු කරන්න උත්සාහ කිරීමක් ලෙස හැඳින්වීම ද සාවද්‍යයි. මේ සඳහා රටවල් 150කට ආසන්න ප්‍රමාණයක සහභාගීත්වය මේ වන විට තහවුරු කර තිබෙනවා. රටවල් 25ක යෞවන කටයුතු ඇමැතිවරු සහභාගී වෙනවා. ඉහළම මට්ටමේ නිලධාරීන් රටවල් 32කින් සහභාගී වීමට නිශ්චිතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති ජෝර්ජ් විලියම් ඈෂ්, මහලේකම් බෑන් කී මූන් මහතාගේ තරුණ කටයුතු පිළිබඳ ලේකම් අහමඩ් අලහන්දාවි මහත්වරුන් සමුළුව පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා. තරුණයාගේ අනාගතය කෙසේ සකස් විය යුතු ද යන්න පිළිබඳ සමුළුවේ දී එළිදැක්වෙන ලියවිල්ල 'කොළඹ ප්‍රකාශනය' ලෙස හඳුන්වා තිබෙනවා.

ඉතිහාසයේ පළමු වතාවටයි මෙවැනි ලියවිල්ලකට තරුණ නායකයන් හා යෞවන කටයුතු ඇමැතිවරුන් එකට අත්සන් තබන්නේ. මීට පෙර තරුණ සමුළුවල දී මේ දෙපිරිස විසින් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශන දෙකක් එළිදක්වා තිබෙනවා. ඕනෑම රටකට තරුණයන් වෙනුවෙන් වූ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. ආසියාව තුළ එවැනි ජාතික ප්‍රතිපත්තියක් නොතිබුණ එකම රට වූයේ ශ්‍රී ලංකාවයි. පසුගිය පෙබරවාරි මාසයේ අපි ඒ අඩුවත් සම්පූර්ණ කළා.

අපේ තරුණ ප්‍රතිපත්තියේ මූලික අවධානය යොමු කර තිබෙන්නේ නිපුණතා සංවර්ධනය වෙනුවෙනුයි. රටේ ප්‍රධාන අධ්‍යාපන ධාරාවෙන් පිට සිටින අයට ජීවනෝපාය සකස් කිරීම එහි මූලික අරමුණ වෙනවා. නිපුණතා සංවර්ධනය සිදු කළ යුත්තේ ජාත්‍යන්තර වශයෙන් සම්මත වූ ක්‍රමවේදයකටයි. රටේ දරුවන්ගේ අනාගතය යෞවන කටයුතු අමාත්‍යාංශය භාරගෙන තිබෙනවා. ඒ සඳහා යා යුතු නිවැරැදි මඟ තීරණය කිරීම සඳහා දායකවීමට රටේ සියලු දෙනාට වගකීමක් තිබෙනවා. එයින් බැහැරවීමට කිසිවකුටත් පුළුවන්කමක් නැහැ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් දර්ශන රත්නායක යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා