බස්නාහිර පළාත් සත් සාමාජික රගර් කිරුළ කාල්ටන් පිලට

බස්නාහිර පළාත් සත් සාමාජික රගර් කිරුළ කාල්ටන් පිලට

ශ්‍රී ලංකා ගුවන් හමුදා 'ඒ' කණ්ඩායමට එරෙහිව ලකුණු 20-10ක විශිෂ්ට ජයක් අත්කර ගත් කාල්ටන් ක්‍රීඩා සමාජය බස්නාහිර පළාත් අන්තර් සමාජ සත් සාමාජික රගර් තරගාවලියේ කුසලානය දිනා ගැනීමට සමත්විය.

කාල්ටන් ක්‍රීඩා සමාජයේ නායක ඇන්ඩෘ බෙන්සන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් කුසලානය ලබා ගනිමින්. ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිනිය ද මෙහි සිටී. ඡායාරූපය – සුදත් සිල්වා

ශූරතාව දිනූ කාල්ටන් රගර් කණ්ඩායම

අවසන් තරගයේ සහ ත්‍යාග ප්‍රදා‍නෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිනිය සහභාගී වූහ. බස්නාහිර පළාත් රගර් සංගමයේ මෙහෙයවීමෙන් හා ඒෂියන් ෆයිනෑන්ස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැති අතර ත්‍යාග ප්‍රදානෝත්සවයට එම සංගමයේ හා ආයතනයේ ප්‍රධානීන් ද එක්වී සිටියහ.

පොලිස් පිටියේ පෙරේදා පැවැති අවසන් මහා තරගයේ පළමු භාගය නිමාවනවිට දෙපිලම ලකුණු 10බැගින් ලබා සිටියද දෙවැනි භාගයේ දී ගුවන් හමුදාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ කාල්ටන් පිල ජය හිමිකර ගත්තේය. කාල්ටන් පිල රැස් කළ ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුම් 4ක් ඇතුලත් වූ අතර ගුවන් හමුදාව රැස් කළේ උත්සාහක දිනුම් 2ක් පමණි.

කුසලාන වටයේ පළමු අවසන් පූර්ව තරගයේ දී ලකුණු 28-0කින් හැව්ලොක්ස් පිල පරාජය කිරීමට කාල්ටන් ක්‍රීඩා සමාජය සමත්වූ අතර දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ‍පොලිස් 'ඒ' කණ්ඩායම ලකුණු 22-12කින් පරාජය කිරීමට ගුවන් හමුදා 'ඒ' පිල සමත්විය.

කාල්ටන් ක්‍රීඩා සමාජයේ ජේසන් දිසානායක තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය. දෙදිනක් පුරා පැවැති මේ තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගනු ලැබුවේ ආදි කන්නන්ගර විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 26-10ක ජයක් වාර්තා කළ නාවික හමුදා 'ඒ' කණ්ඩායම විසිනි. කොතලාවල ආරක්ෂක ඇකඩමි පිලට එරෙහිව ලකුණු 28-7ක ජයක් අත්කර ගත් ගුවන් හමුදා 'බී' කණ්ඩායම බඳුන ශූරතාව දිනූ අතර පොලිස් පිල ලකුණු 33-5කින් පරාජය කළ පානදුර රගර් කණ්ඩායමට පළිහ ශූරතාව හිමිවිය.

බස්නාහිර පළාතේ කණ්ඩායම් 20ක් මෙවර තරගාවලියට එක්වී සිටි අතර ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මීට ඇතුළත්වීම කැපී පෙනුණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා