නාරම්මල මයුරපාදයේ විදුහල්පති මාධ්‍යවේදියකුට කන පැලෙන්න ගහලා

විදුහලේ අඩුපාඩු වීඩියෝ කළැයි

නාරම්මල මයුරපාදයේ විදුහල්පති මාධ්‍යවේදියකුට කන පැලෙන්න ගහලා

ප්‍රශ්නගත කරුණක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමකට ගිය ප්‍රාදේශීය විද්‍යුත් මාධ්‍යවේදියකුට අතින් පහර දී තුවාල සිදු කළේ යැයි නාරම්මල පොලිසිය මඟින් නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු නාරම්මල මයුරපාද මැදි විදුහල්පතිවරයාට මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා රුපියල් 50,000ක ශරීර ඇපයක් නියම කළේය.

ප්‍රාදේශීය විද්‍යුත් මාධ්‍යවේදී අසංක ක්‍රිෂාන්ත බාලසූරිය මේ නඩුවේ පැමිණිලිකරු වන අතර, සැකකරු වූයේ නාරම්මල මයුරපාද මැදි විදුහල්පතිය.

පැමිණිලිකරු අවසරයකින් තොරව විදුහල්භූමියට ඇතුළු වී එහි දර්ශන වීඩියෝ කරමින් සිටිය දී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විදුහල්පතිවරයා පැමිණිලිකරු අල්ලා පොලිසියට බාර දී ඇති බැව් සැකකරුගේ නීතිඥයන් අධිකරණයට සඳහන් කළ අතර , මේ සිද්ධියේ දී සැකකාර විදුහල්පතිවරයා බලය වැඩිපුර යොදා ගැනීමක් සිදුකර ඇද්ද යන පිළිබඳව පරීක්ෂා කරගෙන යන බැව් පොලිසිය අධිකරණයට දැන්වීය.

අධිකරණයේ දී දැක්වුණු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා සැකකාර විදුහල්පතිවරයාට රු.50,000ක ශරීර ඇපයක් නියම කොට එම නඩුව 2014. 08. 20 වන දින අධිකරණය වෙත නැවත කැඳවීමට නියම කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා