විපක්ෂයේ නායකයෝ මාරුවුණාට ජනතාවට ගාණක් නෑ

විපක්ෂයේ නායකයෝ මාරුවුණාට ජනතාවට ගාණක් නෑ

එදිරිවීර වීරවර්ධන

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලි බල, බලශක්ති නිවාස හා ඉදිකිරීම් ඇමැති

කලක් මධ්‍යම රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කළ එදිරිවිර වීරවර්ධන මහතා පසුව ජාතික දේශපාලනයෙන් ඉවත්ව පළාත් සභා දේශපාලනයට ප්‍රවිෂ්ට විය. හෙතෙම වර්තමානයේ මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන ඇමැතිවරයකු ලෙස කටයුතු කරයි. මේ ඔහු සමඟ දිනමිණ පැවැත් වූ දේශපාලන සංවාදයකි.

* එළැඹෙන ඌව පළාත් සභා මැතිවරණයට මුහුණදීමට ආණ්ඩුව තුළ ඇති සූදානම හා සැලැසුම පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?

එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට අප අමුතුවෙන් සැලැසුම් කිරීමට හෝ සූදානම්වීමක අවශ්‍යතාවක් නැහැ. ආණ්ඩුව මේ පළාත්වලට විශාල සේවයක් ඉෂ්ට කර තිබෙනවා. මේ ගැන ජනතාව තුළ විශාල ඇගැයුමක් තිබෙනවා. ඒ ඇගැයුම තමයි මැතිවරණවලදී ඡන්ද බවට පත්වෙන්නෙ. ජනතාව මේ ආණ්ඩුව ඉටුකළ සේවය පිළිබඳව විශාල පැහැදිමකින් ඉන්නේ. මම ඒ කරුණ කියන්නේ නිකම්ම නොවෙයි, හේතු සාධක හා උදාහරණ ඇතිවයි. ආණ්ඩුව දිගින් දිගටම ජයග්‍රහණය කරන්නේ ජනතාව වෙනුවෙන් ඉටු කළ මහා මෙහෙය නිසයි.

* ඒත් විපක්ෂය ප්‍රකාශ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය අනුමාන කරන තරමේ ප්‍රතිඵලයක් ඉදිරියේදී ලබා ගැනීමට නොහැකි බවයි.

ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට තමන් කැමැති අදහසක් පළ කළ හැකියි. ඒක ඔවුන්ගේ නිදහස විදිහටයි පෙන්වාදීමට පුළුවන්කම තිබෙන්නේ. ඒත් ඔවුන් අනුමානයට කියන කරුණු අපට කිසිසේත්ම පිළිගැනීමට බැහැ.

අපි පසුගිය අවුරුදු අට ඇතුළත විශාල මෙහෙවරක් ඉෂ්ට කර තිබෙනවා. ඒ ගැන ජනතාව තුළ ඇති ප්‍රසාදය හා විශ්වාසය අංශු මාත්‍රයකින්වත් අඩුවෙලා නැහැ. අනෙක විපක්ෂය විදිහට එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට නිසි වැඩපිළිවෙළක් නැහැ.

ජනතාව ආකර්ෂණය කරන වැඩපිළිවෙළක් විපක්ෂයට නැහැ. ඒ විදිහේ විපක්ෂයකට ජනතාව දිනා ගැනීමට බැහැ. තමන්ගේ ඡන්ද දායකයන් තබාගැනීමට බැරි වෙලා තිබෙන්නේ.

* ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව සංශෝධනය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නැඟී සිටිම විපක්ෂයට යම් කිසි ශක්තියක් ඇතිවී බවට විචාරකයන් අදහස් පළ කරනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

මේ නායකත්ව මාරු කිරීම් නිසා විපක්‍ෂ අභ්‍යන්තරයේ යම් කිසි ප්‍රබෝධයක් ඇතිවීමට පුළුවන්. ඒත් ඒ ප්‍රබෝධය හුදු සමාජයටම දැනෙන මහා වෙනසක් නොවෙයි. එවැනි තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණට මහා විප්ලවයක් කළ නොහැකියි. දේශපාලනය හා සලකා බලද්දී එය සැලකිල්ලට ගත යුතු දෙයක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියන්නේ එජාපයෙන් හැලෙන, ජනතා විමුක්ති පෙරමුණෙන් ගැලවෙන ඡන්ද එකතු කරන තැනක් පමණයි. ඒ හැර මේ දේශපාලන පක්ෂයට දුර ගමනක් යාමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මීට පෙර බිහි වූ දේශපාලන පක්ෂවලට වූ දේම තමයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සිදු වන්නේත්,

* මැතිවරණ ක්‍රියාවලිය තුළ මෑතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයට වැඩි චෝදනා ප්‍රමාණයක් එල්ල වෙනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

ඒ චෝදනාවේ කිසිදු සත්‍යතාවක් නැහැ. අප ඉතාමත් ඉහළින් මැතිවරණ නීති ආරක්ෂා කරනවා. අප පක්ෂයක් විදිහට නීති රීති උපරිමයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කළා. ඇතැම් විට එක් සිදුවීමක් දෙකක් හුදෙකලාව සිදු වුණාට, මේ සියල්ල පක්‍ෂයක ගිණුමට බැර කිරීම වැරදියි.

ඇත්තෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන අතර ප්‍රජාතන්ත්‍රවාදීව සියලු පක්ෂවලට අවස්ථාව ලබාදීමට කටයුතු කළා. අනෙක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බලයේ සිටිදාහත් අවුරුදු කාලය තුළ මැතිවරණ සිතියම හකුළා දැමීමට කටයුතු කළා. ඒත් අපි නිතරම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණින් තමයි කටයුතු කරන්නේ. ඒ ගැන අතීතය සියලු ජන කොටස්වලට යළි සිහිපත් කළ යුතු නැහැ.

* ජාතික දේශපාලනය තුළ කලක් කටයුතු කළ දේශපාලනඥයෙක් සහ වර්තමානයේ පළාත් සභා ක්‍ෂේත්‍රයේ කටයුතු කරන දේශපාලනඥයකු විදිහට පළාත් සභාවලට පැවරී ඇති බල තල පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

පළාත් සභාව කියන්නේ ජනතාවට වැඩක් කළ හැකි ආයතනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඇතැම් අය චෝදනා එල්ල කරනවා පළාත් සභාව සුදු අලියෙක් කියලා. නැතිනම් වැඩකට නැති ආයතනයක් කියලා. ඒත් පළාත් සභාව කියන්නේ ජනතාවට වැඩක් කළ හැකි ආයතනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. උදාහරණයකට ගනිමු මධ්‍යම පළාත් සභාව, මේ සභාව ඒ පළාතේ ජනතාවට විශාල සේවයක් ඉටුකර තිබෙනවා පමණක් නොවෙයි. මධ්‍යම ආණ්ඩුව සමඟ සුහදත්වයෙන් හා අවබෝධයෙන් මහින්ද චින්තන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා පළාත් සභාව කියන්නේ පිටු දැකිය යුතු ආයතනයක් නොවෙයි. වැඩකළ හැකි ආයතනයක් විදිහටයි හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ.

පළාත් සභාවලට ඉඩම් බලතල, පෞද්ගලික බලතල ඉල්ලීම් නොවෙයි කළ යුත්තේ. අපට ලැබී ඇති බලතල මඟින් ජනතාව උපරිමයෙන් සේවය කිරීමයි. එහෙම කටයුතු කිරීම මඟින් පමණයි පළාත් සභාවල මෙහෙවර ඉටුකිරීමට පුළුවන්කම ලැබෙන්නෙ.

* විපක්ෂය නඟන ප්‍රබලම තර්කයක් බවට පත්වෙලා තිබෙන්නේ රට තුළ සිදු කළ මහා පරිමාණ සංවර්ධන කටයුතුවලින් පොදු ජනතාවට යහපතක් උදාකර නොහැකි බව. මේ චෝදනා පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

මේ මතුකරන තර්කවල පදනමක් නැහැ. රටට විශාලම සේවයක් සිදුවූණේ මේ ආණ්ඩු කාලයේදී කියන එක අතිශයෝක්ති සහගත තර්කයක් නොවෙයි, එය රටේ බහුතරයක් පිළිගත් සත්‍යයක්. යුද්ධය නිම කිරීමත් සමඟ බොහෝ අය කල්පනා කළේ රට යළි ගොඩ නඟන්න දීර්ඝ කාලයක් ගතවේවි කියලා. ඒත් මේ ආණ්ඩුවට පුළුවන් වුණා ඉතාමත් කෙටි කාලයක් තුළ යුද්ධයෙන් විපතට පත් වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමට. එපමණක් නොවෙයි, ඉන්පසු මහා සංවර්ධනයකට අවශ්‍ය පසුබිමක් කෙටි කාලයක් ඇතුළත ඇති කළා. වරාය, ගුවන්තොටුපළ අධිවේගී මාර්ග මේ අතරින් ප්‍රධානයි. මේවායේ ප්‍රතිලාභ එක් රැයකින් නැතිනම් දෙකකින් ලබා ගැනීමට පුළුවන් කමක් නැහැ. ඒවා දීර්ඝ කාලීනව ප්‍රතිලාභ ලබා ගැනීමට ව්‍යාපෘති විදිහට හඳුන්වන්න පුළුවන්.

වරායක්, ගුවන්තොටුපොළක් කියන්නේ රටක ආර්ථිකයට විශාල ශක්තියක්. අධිවේගී මාර්ග ඉදිකිරීමත් එහෙමයි. දීර්ඝ කාලයක් තිස්සේ එකතැන පල්වුණු ප්‍රවාහන හා මහා මාර්ග ක්‍ෂේත්‍රයට අලුත් ශක්තියක් ලබාදීමට පුළුවන් වුණා. මෙපණක් නොවෙයි, පොදු මහා මාර්ග පද්ධතියට නව මුහුණුවරක් ලබාදීමට ආණ්ඩුවට පුළුවන් වෙලා තිබෙනවා. මෙය රටේ අනාගත සංවර්ධනයට අතිශය පිටිවහලක් විදිහට හඳුන්වන්න පුළුවන්. රටක් අලුත් ගමනකට මුල පිරීමේදී මේ විදියේ මහා සංවර්ධන ව්‍යාපෘති ඇති කළ යුතුයි. ඒවායේ ප්‍රතිඵල මෙන්ම ප්‍රතිලාභ ශත වර්ෂ ගණනාවකට ප්‍රයෝජනයට ගැනීමට පුළුවන්.

ඒ නිසා මේ සංවර්ධන ව්‍යාපෘති මඟින් ජනතාවට ප්‍රතිලාභ නැතැයි කිසිවකු කියනවානම් ඒක වැරැදි අර්ථකථනයක්.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා