ජනපති මහින්දට බහරේනයෙන් මහත් හරසර

ජනපති මහින්දට බහරේනයෙන් මහත් හරසර

ශ්‍රී ලංකාව සමඟ පවත්නා ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් බහරේනය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරටට ළඟාවෙයි.

ඊයේ (28) පෙ‍රවරුවේ බහරේනය බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එරට මනමා අගනුවර වෙත ළඟා වූ අතර ඒ අවස්ථාවේදී එරට අගමැති ඛලීෆා බින් සල්මාන් බින් හමාඩ් අල් කලිෆා කුමරු සහ මුහාරක්හි ආන්ඩුකාර සල්මාන් බින් හින්දි මහතා විසින් මහත් හරසරින් පිළිගත්හ.

 

දෙදින නිල සංචාරයක් සඳහා බහරේනය බලාගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත ළඟාවූ අවස්ථාවේදී බහරේනයේ ඛලීෆා බින් සල්මාන් බින් හමාඩ් අල් කලිෆා රාජකීය කුමරු විසින් මහත් හරසරින් පිළිගැනීමෙන් අනතුරුව රතු පලස මතින් කඳවාගෙන යන අයුරු.

ඡායාරූපය - සුදත් සිල්වා

බහරේන් රජයේ නිල ආරාධනයකට අනුව මේ සංචාරයේ නිරතවන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට හමාඩ් බින් ඉෂා අල් කලිෆා රජු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ව්‍යාපාරික සමුළුවකට මෙන්ම බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතව ඇත.

බහරේනය සමඟ ශ්‍රී ලංකාව ඉතා සමීප සබඳතා පවත්වන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල සංචාරයත් සමඟ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවද ඒ මහතාගේ සංචාරය අපේ රටට අංශ කිහිපයකින් වැදගත් වන බවද බහරේනයේ ශ්‍රී ලංකා තානාපති ආර්.කේ.එම්.ඒ රාජකරුණා මහතා පවසයි.

බහරේනය සමඟ පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙන බව සඳහන් කරන තානාපතිවරයා එමඟින් බහ‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන කටයුතු ඇතුළු සියලු අවශ්‍යතා සොයා බැලීමට හැකිවන බවද පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිල සංචාරය අතරතුර දෙරටටම වැදගත් වන ගිවිසුම් 4 ට අත්සන් තැබීමට නියමිත බව සඳහන් කරන ශ්‍රී ලංකා තානාපතිවරයා වෙළෙඳ, ක්‍රීඩා, අධ්‍යාපන සහ සංස්කෘතික ආදී ගිවිසුම් ඒ අතර වන බව කියාසිටී.

බහරේන් රජය මඟින් විදෙස් රාජ්‍ය නායකයෙකු වෙත පිරිනමන ඉහළම රාජ්‍ය සම්මානය වන ෂෙක් ඉෂා පදක්කම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීමට එරට හමාඩ් බින් ඉෂා අල් කලිෆා රජු තීරණය කර තිබෙන බවද බහරේනයේ ශ්‍රී ලංකා තානාපති ආර්.කේ.එම්.ඒ රාජකරුණා මහතා කියයි.

මේ සංචාරය අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට අගමැති ඛලීෆා බින් සල්මාන් බින් හමාඩ් අල් කලිෆා කුමරු ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

විදේශ ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස්, කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුද මේ සංචාරයට එක්ව සිටිති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා