තැපැල් ගාස්තු සංශෝධනයට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා

තැපැල් ගාස්තු සංශෝධනයට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා

 - ඇමැති ජීවන් කුමාරතුංග

ඉදිරියේදී තැපැල් ගාස්තු සංශෝධනයක් සිදු කරන බව තැපැල් සේවා ඇමැති ජිවන් කුමාරතුංග මහතා පැවසීය.

තැපෑල දීර්ඝ කාලයක් පුරා ජනතාවට සේවය කරමින් වර්තමානයේ නව තාක්ෂණය අනුව පෙරට ගමන් කරමින් තිබෙන බව ප්‍රකාශ කළ ඒ මහතා තැපැල ස්වෝත්සාහයෙන් නැගී සිටින දෙපාර්තමේන්තුවක් බවට පත් කරන බවද කීය.

විවිධ පුද්ගලයින් තැපෑල සම්බන්ධයෙන් නිවැරදි දැනුමකින් තොරව චෝදනා එල්ල කරනවා යයිද ඒ මහතා පැවසීය. තමන් මෙවර පළාත් සභා මැතිවරණය සඳහා තැපෑලේ සම්පත් යොදා ගත්තා යයි කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඇමැතිවරයා කීය. ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ ඊයේ ( 28 ) ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

මෙහිදී අදහස් දක්වමින් තැපැල්පති රෝහණ අභයරත්න මහතා ප්‍රකාශ කෙළේ , තැපෑල ලාභ ලැබිමේ පරමාර්ථයෙන් පිහිටවූ ආයතනයක් නොවන බවයි.

මේ වන විට තැපැල් දෙපාර්තමෙන්තුවේ ආදායම වැඩිවෙලා තිබෙනවා. උතුරු නැගෙනහිර ජන ජීවිතය යථා තත්ත්වයට පත්විම සහ තැපැලේ ප්‍රවර්ධන වැඩ සටහන් මේ තත්ත්වයට බලපෑ බවයි මා සිතන්නෙ. වසරින් වසර සිදු වු ආදායම සහ වියදම අතර පරතරය වැඩිවිම මේ වන විට අඩු වෙලා තිබෙනවා. තැපැල් ගාස්තු සංශෝධනයට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. තව මාසයක් ඇතුලත මේ කටයුතු සිදුවේවි.

මේ වසර අවසන් වන විට ප්‍රධාන තැපැල් කාර්යාල 648 ක් ජාල ගත කිරීමේ කාර්යය අවසන් කරන්න අපට පුලුවන්. මේ වර්ෂයේදිත් අප උත්සාහ කරන්නේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගන්නේ නැතිව අපගේ කටයුතු පවත්වා ගෙන යාමටයි.

අහිමි ලිපි කාර්යාලය මේ දිනවලදී සම්පූර්ණයෙන් විගණනයට ලක් කරන බවද ඒ මහතා කීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා