ඉඳිආප්ප පිටි කම්හල් රැසක් ITI පරීක්ෂාවට

ඉඳිආප්ප පිටි කම්හල් රැසක් ITI පරීක්ෂාවට

රටපුරා විශාල වශයෙන් අලෙවි කෙරෙන ඉඳිආප්ප නිෂ්පාදනයට ගන්නා සහල් පිටිවලට අළුහුණු එකතු කරන බවට ලැබී ඇති තොරතුරු මත පා‍රිභෝගික අධිකාරිය ඊයේ (28) මහා පරිමාණ නිෂ්පාදකයන් රැසකගේ සහල් පිටි සාම්පල් කාර්මික තාක්ෂණික ආයතනය ( ITI) පරීක්ෂාවට යොමු කර තිබේ.

ප්‍රසිද්ධ නම්වලින් නිෂ්පාදනය කරන මහා පරිමාණ ඉඳිආප්ප පිටි නිෂ්පාදන කම්හල් අටක පිටි සාම්පල් මෙසේ පරීක්ෂාවට යොමු කර තිබේ.

පාරිභෝගිකයාට වස විස කවන ඇතැම් ජාවාරම්කරුවන් සහල් පිටිවලින් නිෂ්පාදනය කරන ඉඳිආප්ප පිටිවල මෘදු බව සහ සුදු පැහැය ඇති කිරිම සඳහා මිනිස් සිරුරට බරපතළ ලෙස හානිදායක අළුහුණු එම ඉඳිආප්ප පිටිවලට යොදන බවට පාරිභෝගික අධිකාරිය කරුණු අනාවරණය කර තිබේ.

බොහෝ නිෂ්පාදකයන්ගේ ඉඳිආප්ප සහල් පිටි ඇල් වතුරෙන් අනා ගත යුතු බවට ඒවායේ කවරයේ උපදෙස් දී ඇත.

ඇල්වතුරෙන් එම ඉඳිආප්ප පිටි මිශ්‍ර කර ගැනීමේදී එහි රස්නය ගතියක් සහ බුබුළු නගින තත්ත්වයක් ඇතිවෙන්නේ එම සහල් පිටිවලට අළුහුණු එකතු කිරීම නිසා බව යැයි විශ්වාස කෙරේ.

කෙසේ වුවද පාරිභෝගික අධිකාරිය සොයාගත් තොරතුරු නීත්‍යානුකූලව ඔප්පු කර ගැනීම සඳහා එම පිටි සාම්පල් කාර්මික තාක්ෂණික ආයතනය (ITI) වෙත යවා තිබේ.

නිවෙස් සෑදීමේදී භාවිතයට ගන්නා අළු හුණු ශරීරගත වුවහොත් ශරීරයේ අභ්‍යන්තරය තැම්බීම ඇති කිරීමට හේතු වෙති.

ඇතැම් ඉඳිආප්ප පිටි ආහාරයට ගත් පසු බඩ උගුර දැවිල්ල ඇතිවෙන බව පාරිභෝගික අධිකාරියට පැමිණිලි ද ලැබී ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා