දිනූ නිදහස හා සාමය රැක ගැනීම මුළු මහත් ජනතාවගේ වගකීමක්

දිනූ නිදහස හා සාමය රැක ගැනීම මුළු මහත් ජනතාවගේ වගකීමක්

මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි

රජය දිනාගත් නිදහස,සාමය, සමඟිය හා සමාදානය ,සදාකල් රැක ගැනීම පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු මෙන්ම මුළු මහත් ජනතාවගේම වගකීමක් යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ ප්‍රකාශ කළහ.

තිස් වසරක කුරිරු ත්‍රස්ත ශාපය අමතක කරන්න අමතක කරවන්න ඇතැමෙක් උත්සාහ දරන බවත් නමුත් එය අමතක කර දැමිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් උන්වහන්සේ පැවසූහ.

බස්නාහිර පළාත් හය වැනි සභාවේ අභිනව සභාපති සුනිල් විජේරත්න මහතා ඊයේ(28)බත්තරමුල්ල සෙත්සිරිපායේ දි සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අවස්ථාව. සීලවතී ලියනගේ මෑණියන් ,සුනිල් විජේරත්න මහත්මිය ,ඇමැති ඒ.එච් .එම් ෆවුසි ,පණ්ඩු බණ්ඩාරනායක ,පළාත් නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ ,පළාත් ලේකම් හේමන්ත සමරකෝන් මන්ත්‍රි ඒ.ජී එම් ෆායිස් යන මහත්ම මහත්මීහද මේ අවස්ථාවට එක් වී සිටියහ.

ජනාධිපතිතුමාගේ නිවැරැදි නායකත්වය යටතේආරක්ෂක ලේකම්වරයාගේ නිවැරැදි මෙහෙයවීම යටතේ ආරක්ෂක අංශ දහස් සංඛ්‍යාත පිරිසක් දිවි පුදා ,සදාකාලිකව ආබාධිතව දිනා දුන් ජයග්‍රහනය කිසිදා අමතක කළ නොහැකි බවත් සඳහන් කළහ.

බස්නාහිර පළාත් සභාවේ අභිනව සභාපති සුනිල් විජේරත්න මහතා ඊයේ (28) සෙත්සිරිපාය කාර්යාලයේදි රාජකාරි කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති චාම් උත්සවයට එක් වෙමින් නායක හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ඥායනාව මධ්‍යයේ අභිනව සභාපති සුනිල් ‍විජේරත්න මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. චිරාගත සම්ප්‍රදානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව චාම් උත්සවයක් ද පැවැත්විණි‍.

යුද්ධය පැවති උතුර ,උතුරු නැගෙනහිරට පමණක් නොව කොළඹ අග නගරයට පවා යන්න එන්න බැරි තත්ත්වයක් එදා උද්ගත වී තිබූ බව පැවසූ උන්වහන්සේ රැකියාවට ගිය අම්මා තාත්තා දුව පුතා නැවත නිවසට එයිද නැද්ද යන්න විශ්වාසය තැබිය නොහැකි තත්ත්වයකට රට පත්ව තිබූ බව කීහ.

වැඩි දුරටත් අදහස් දැක්වූ නායක හිමියෝ මෙසේද පැවසූහ .

එදා බෝම්භ බියෙන් මුළු රටම ඇළලී ගියා.කෝච්චියක් ,බසයක් ,බැංකුවක් ,කාර්යාලයක් වැනි ජනතාව ගැවසෙන තැනතකට යන්න ජනතාව බය වුණා.සිඟන්නෙක් ළඟට ආවත් බයේ වෙවුලන ,මාර්ගසංඥා රතු එළියට වාහනය නතර කළාම බෝම්බ වාහනයක් ඇවිත් හප්පයිද කියා ඇගේ ලේ වතුර වෙන යුගය මොකක් හෝ වාසනාවකට නිමා කරන්න හැකි වුණා .ළමයින් පාසල් යවා ගේට්ටුව මුර කරපු ,අනුරාධපුරයෙන් එහායන්න බැරිව තිබු යුගය දැන් අමකව වෙලා.

ජනාධිපතිතුමාගේ නිවැරැදි නායකත්වය යටතේ ආරක්ෂක ලේකම්වරයාගේ නිවැරැදි මෙහෙයවීම යටතේ තිස්දෙවසරක් පැවති යුද්ධය තෙවසරක් ඇතුළත නිමා කරන්න හැකි වුණා.ආරක්ෂක අංශයේ 27 ,200ක් දෙනා දිවි පුදමින් ,විසිහය දහසක් දෙනා සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්ව සාමය නිදහස සමඟිය ස්ථාපිත කළා.

බස්නාහිර පළාත් අභිනව මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා- පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ලෙස සුනිල් විජේරත්න මහතා කොයි කාගේත් හිත දිනා ගෙන කටයුතු කළා. ‍හය වැනි සභාවේ සභාපතිවරයා ලෙස එතුමා පත් වන අවස්ථාවේ ඒ මහතාට විරුද්ධ පක්ෂයෙන් ඡන්දයක් ලැබුණේ ඒ හිත දිනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. බස්නාහිර පළාත ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කර ගෙන යාමට එතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා.

අභිනව සභාපති සුනිල් විජේරත්න මහතා, දෙවැනි වරටත් සභාපති ධුරය ලබාදීමට කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, පක්ෂ ලේකම්තුමා හා ගම්පහ දිස්ත්‍රික් නායකතුමාට මගේ කෘතඥතාව පුද කරනවා. සියලුම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරමින් පක්ෂ විපක්ෂ සියලු දෙනාට අවශ්‍ය සහාය ලබාදෙමින් කටයුතු කිරීමට මම අපේක්ෂා කරනවා.

බස්නාහිර‍ පළාතේ මෙතෙක් පැවැති ගෞරවය තවදුරටත් ආරක්ෂා කරන්න මා කැපවෙනවා. රටේ ප්‍රධානම පළාත් සභාව වන බස්නාහිර පළාත් සභාව ගෞරවනීය අයුරින් කටයුතු කරන බව ජනාධිපතිතුමා ද පිළිගන්නා කරුණක්.

බස්නාහිර පළාතේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා, බස්නාහිර පළාතේ පස් වැනි සභාවේ දී එතුමා සමඟ පක්ෂ විපක්ෂ සියලුදෙනා සහයෝගයෙන් කටයුතු කළා. සියලුම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර ගනිමින් පළාත් සභාවට ආණ්ඩු පක්ෂය ගෙන එන හොඳ යෝජනාවලට සහාය ලබාදෙන බව ප්‍රකාශ කරනවා. පස්වැනි පළාත් සභාවේ ආදර්ශය හය වැනි සභාවට ද ගෙන යමින් සභාවේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරනවා.

පිළිගැනීමේ කතාව සභා ලේකම් හේමන්ත සමරකෝන් මහතා සිදු කළ අතර එම අවස්ථාවට සුනිල් විජේරත්න මහතාගේ මෑණියන්, බිරිය, හා ඇමැතිවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, ලසන්ත අලගියවන්න, දුලිප් විජේසේකර, නෙවිල් පෙරේරා සහ පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඉසුරු දේවප්‍රිය, මහේෂ් අල්මේදා, ජගත් අංගගේ, ඒ.එම්.එස්. ෆායිස්, සිසිර ජයකොඩි, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්වරු මෙන්ම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන සිරි කමල් ෆිලීෂියන් ද සිල්වා, අශෝකා ලංකාතිලක, ඒ.එම්. යුහුෂුප්, කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහත්ම මහත්මීහු ද පැමිණ සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා