ශ්‍රී ලංකා-බහරේන් අවබෝධතා ගිවිසුම් 4ක්

ශ්‍රී ලංකා-බහරේන් අවබෝධතා ගිවිසුම් 4ක්

ශ්‍රී ලංකාව සහ බහරේන් රාජධානිය දෙරට අතර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම් 4කට ඊයේ (28) අත්සන් තැබීය. ගිවිසුම් 3කින් ක්‍රීඩා, සංස්කෘතික හා කලා ක්ෂේත්‍ර ආවරණය කෙරෙයි. අනෙක කොළඹ විශ්වවිද්‍යාලය හා බහරේන් විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකි.

දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා දැන් බහරේන් වෙත ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මතා අල්-සබීර් මාලිගයේ දී බහරේනයේ හමාද් බින් ඉසා අල් - බලීෆා රජතුමා අග්‍රාමාත්‍ය බලීෆා බින් සල්මාන් බින් හමාඩ් අල් බලීෆා කුමරු සහ බහරේන් හි සෙසු ඉහළ නිලධාරීන් විසින් ඉමහත් හරසරින් සහ උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු බහරේන් හි චාරිකා කරන ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මහතා දෙරට අතර සබඳතාවන් හි සුහද බව හා පරිණත බව ඉන් සලකුණු කරන බව කීය.

ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළ නායකයෝ දෙදෙනඅන්තර්ජාතික වේදිකාවල දී අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක්‍රියා කිරීමට එකඟත්වය පළ කළහ.

“ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ නායකත්වය සුපතළ එකක්. එතුමා කලාපීය ස්ථාවරත්වය උදෙසා උසස් මෙහෙවරක් ඉටුකර තිබෙනවා”, යයි හමාඩ් රජතුමා සිය දූත පිරිසේ සාමාජිකයිනට පැවසීය.

ශ්‍රී ලංකාව සහ බහරේන් රාජධානිය අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1992 දී ඇරඹිණ. පසුගිය වසරේ පෙබරවාරි මස මනාමා අගනුවර නව ශ්‍රී ලංකා දූත කාර්යාලයක් ස්ථාපනය කරනු ලැබීය. දෙරට අතර සබඳතා දේශපාලන සහ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවතී. 2009 දී දෙදින චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එරට අග්‍රාමාත්‍යතුමා උතුරේ යළි ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළේය. ආර්ථික පාර්ශ්වය ගත් කල 2003 දී ඩොලර් මිලියන 7.3ක් වූ ශ්‍රී ලංකා - බහරේන් වෙළෙඳ ගණුදෙනු අගය 2013 වන විට ඩොලර් මිලියන 34.9 දක්වා වැඩි විය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන්පෙරේරා, කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, බහරේනයේ ශ්‍රී ලංකා තානාපති අනුර එම්. රාජකරුණා යන මහත්වරු සහ ව්‍යාපාරික දූත පිරිසේ සාමාජිකයෝ ගණනාවක් ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා