සුපිරි හෝටලයේ වෙන්දේසියෙන් රු. කෝටි 25ක මැණික් කොල්ල කාලා

මාවනැල්ල පහළ කඩුගන්නාවේ

සුපිරි හෝටලයේ වෙන්දේසියෙන් රු. කෝටි 25ක මැණික් කොල්ල කාලා

මැණික්ගල් 9ක් සොරාගෙන පලා ගිහින්

වෙන්දේසිය මෙහෙයවූ බ්‍රෝකර් අත්අඩංගුවට

කොල්ලකරුවන් අල්ලන්න පොලිස් කාණ්ඩ 8ක්

මාවනැල්ල පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී ඊයේ (28) දහවල් කෝටි විසිපහකට අධික (25,0000000) මැණික් ගනුදෙනුවක් සිදුවෙද්දී එම මැණික් මිලදී ගැනීමට පැමිණි දෙදෙනෙක් වටිනා මැණික් ගල් 9ක් කොල්ලකාගෙන ජීප් රථයකින් පලා ගොස් තිබේ.

ඊයේ දහවල් 12.20ට පමණ එම ගනුදෙනුව සිදුවී ඇති අතර මැණික් මිලදී ගැනීමට පුද්ගලයන් ගෙන්වූ බ්‍රෝකර්වරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලකරුවන් පැහැරගෙන යන ලද මැණික් ගල් 9 වටිනාකම රුපියල් කෝටි විසිපහකට ආසන්න බව එහි හිමිකාර ව්‍යාපාරි‍කයෝ පොලිසියට පවසා තිබේ.

මැණික් ගල් රැගෙන ජීප් රථයෙන් පලාගිය දෙදෙනා ඔවුන් ගෙනඑන ලද බ්‍රෝකර්වරයා විසින් දැන හඳුනන අය බව පවසා ඇත.

මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වන විටත් මාවනැල්ල පොලිසියේ ප්‍රමුඛත්වයෙන් කණ්ඩායම් 8ක් පමණ යොදවා තිබේ.

මැණික් මිලදී ගැනීමට පැමිණි මොවුන් ඒවා පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කරමින් සිට එහි සිටි අයට ගිනි අවියක්ද පෙන්වා ඒවා රැගෙන මෙසේ පලා ගොස් ඇත.

ඊයේ දහවල් සිටම මොවුන් කොටු කර ගැනීම සඳහා මාවනැල්ල, මහනුවර, රත්නපුර, කෑගල්ල ඇතුළු සියලු ප්‍රදේශ වටලා මාර්ග බාධක යොදා මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා