වියට්නාම ශ්‍රේෂ්ඨ නායක හෝ චි මිං වෙනුවෙන් සමරු මුද්දරයක්

වියට්නාම ශ්‍රේෂ්ඨ නායක හෝ චි මිං වෙනුවෙන් සමරු මුද්දරයක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම ජනතාවගේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) මහතා වෙනුවෙන් සැමරුම් මුද්දරයක් නිකුත් කරයි.

ඒ මහතාගේ 124 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මේ සැමරුම් මුද්දරය නිකුත් කර තිබෙන අතර එය නිකුත් කිරීම තැපැල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (28) සිදුකෙරිණි. එහි පළමු මුද්දරය තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතා අතින් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ටොම් සිං ටැන් මහතා වෙත පිරිනැමීය.

රුපියල් 5ක වටිනාකමින් යුතු නව තැපැල් මුද්දරයක් මෙහිදී නිකුත් කෙරුණු අතර වර්ණ හතරකින් සමන්විත එම මුද්දර 500,000ක් මුද්‍රණය කර තිබෙන බව තැපැල් සේවා අමාත්‍යාංශය පවසයි.

1945 වසරේ සැප්තැම්බර් මාසයේදී වියට්නාම ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ උපත ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රකාශයට පත්කරමින් හෝ චි මිං මහතා ප්‍රථම ජනාධිපතිවරයා බවට පත්විය. ඔහුගේ නායකත්වය යටතේ උතුරු වියට්නාමය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමට සමත්වූ අතර ඒ අනුව ඔහු වියට්නාමයේ පමණක් නොව සමස්ත ලෝකයේම ගෞරවයට පාත්‍ර විය.

1890 වසරේ මැයි මස 19 දා උපත ලබා තිබෙන හෝ චි මිං මහතා 1969 වසරේ සැප්තැම්බර් මස 2දා අභාවප්‍රාප්ත විය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ටොම් සිං ටැන් මහතා සඳහන් කළේ තම නායකයාණන්ගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාව විසින් සැමරුම් මුද්දරයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට මෙන්ම ජනතාවට තම ප්‍රණාමය පිරිනමන බවත්ය.

වියට්නාම ජනතාවගේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ හිටපු ජනාධිපති හෝ චි මිං මහතාගේ ජන්ම දිනය එළඹෙන මැයි මස 19දාට යෙදෙන බව පැවසූ තානාපතිවරයා විප්ලවීය ජීවිතයක් ගතකළ හෝ චි මිං වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර තිබෙන ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවද පෙන්වා දුන්නේය.

හෝ චි මිං මහතා අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව සිහිපත් කළ ඒ මහතා මෙරට සමඟ සමීපව කටයුතු කර තිබෙන බවද පැවසීය.

මේ අතර ජ්‍යෙෂ්ඨ ඇමැති ඩීව් ගුණසේකර මහතා සඳහන් කළේ හෝ චි මිං මහතා වියට්නාමයේ පියා වශයෙන් හඳුන්වන බවත් ඔහු වියට්නාමයට හෝ ආසියාවට පමණක් නොව සමස්ත ලෝකයේම පිළිගැනීමකට ලක්ව තිබෙන බවත්ය. තම රටේ විමුක්තිය වෙනුවෙන් ජීවිතයම කැපකළ ඒ නායකයා ප්‍රංශයේදී ලබාගත් අත්දැකීම් සහ ලොව පුරා ගමන් කරමින් ලබාගත් දැනුම හා අත්දැකීම් වියට්නාමයේ නිදහස වෙනුවෙන් ප්‍රයෝජනයට ගත් බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රජය නායකයෙකු වියට්නාමයට ගිය පළමු අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට රාජ්‍ය චාරිකාවකට එක්වූ බව සිහිපත් කළ ඇමැතිවරයා එරට ජනාධිපතිවරයාද ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවද සඳහන් කළේය. ඒ සංචාරය සනිටුහන් කරමින් හෝ චි මිං මහතාගේ පිළිරුවක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙන බවද හෙතෙම පැවසීය.

වියට්නාමය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළ ඩීව් ගුණසේකර මහතා ජගත් මානව හිමිකම් කවුන්සලයේදී සෘජුවම ශ්‍රී ලංකාවට සහයෝඟය දුන් බවද ප්‍රකාශ කළේය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එච්.එම් ෆවුසි, තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර, තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, තැපැල්පති රෝහන අබයරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා