අලුතින් උපදින සෑම දරුවකුටම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අනිවාර්යයි

අලුතින් උපදින සෑම දරුවකුටම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අනිවාර්යයි

ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය අද එළි දකී

අලුතින් උපදින සෑම දරුවකුටම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අනිවාර්ය කරමින් ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය අද(29) එළිදැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය සකස් කළ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී බාරදීම අද (29) උදෑසන 9.30 ට සිදුකෙරේ.

ලෝකයේ හොඳම ප්‍රතිශක්තිකරණ වැඩසටහන මෙරට ක්‍රියාත්මක වන අතර මෙරට මහජනතාවගෙන් සියයට සියයක්ම ආවරණය වන පරිදි නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය කාලයේදී අපේ රටට වඩා ලෝකයේ වෙනත් රටවල් කිහිපයක් ප්‍රතිශක්තිකරණය අතින් ඉහළ මට්ටමකට ළඟා වී සිටියත් තුරන් කළ රෝග සම්බන්ධයෙන් වූ නොසැලකිලිමත්කම නිසා නැවතත් එම රටවල මහජනතාව විවිධ රෝගවලට ගොදුරුව සිටින බව අමාත්‍යාංශය පවසයි.

එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ඇති වීම වැළැක්වීමේ අරමුණෙන් මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට වසංගත රෝග විද්‍යා අංශය පියවර ගෙන තිබේ.

රෝග තුරන් කළාට පසුව තුරන් කළ රෝගවලට එන්නත් ලබාදීම සිදු කරන්නේ කුමටද කියා මහජනතාව සිතන බවත් අවසානයේදී එහි ප්‍රතිඵලයක් විදියට තුරන් කළ රෝග නැවතත් හිස එසවීම සිදු වන බවත් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව මේ වන විට රෝග රැසක් තුරන් කර ඇති අතර මෙරට ජනතාව තුළ ද එවැනි සිතුවිල්ලක් ඇති වීම වැළැක්වීමට මේ ප්‍රතිපත්තිය හේතු‍ වනු ඇතැයි ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා