ශ්‍රීලනිප ආධාරකරුවකු මරා දැමූ වලපනේ එජාප හතක් පෝර‍කයට

ශ්‍රීලනිප ආධාරකරුවකු මරා දැමූ වලපනේ එජාප හතක් පෝර‍කයට

’94 මැතිවරණයෙන් පසු කපා කොටා මරා දාලා

තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදු කරලා

චූදිතයන් නවදෙනාගෙන් 2ක් මිය ගිහින්

වලපනේ නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ දී මෙයට විසි වසරකට පෙර ශ්‍රී. ල. නි. ප ආධාරකරුවන් තිදෙනකුට පහරදී තුවාල සිදුකර එක් අයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය මහාධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරුවන් වූ පුද්ගලයන් හත්දෙනකුට මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ඊයේ (28) මරණීය දණ්ඩනය නියම කළේය.

වර්ෂ 1994 මැතිවරණයෙන් පසු රත්නායක මුදියන්සේලාගේ සුමනදාස නැමැති ශ්‍රී. ල. නි. ප. ප්‍රබල ආධාරකරුවකු නිල්දණ්ඩාහින්න තේවත්ත ප්‍රදේශයේ දී කපා කොටා ඝාතනය කිරීම හා තවත් දෙදනකුට පහර දී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධව මොවුනට චෝදනා එල්ලවී තිබිණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 9 දෙනකුට අධි‍ චෝදනා එල්ල වී තිබුණු අතර නඩුව විභාග වන අතරතුර දෙදෙනකු මරණයට පත්විය.

පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට මරණීය දණ්ඩනය නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එයට අමතරව අනෙක් පුද්ගලයන් දෙදෙනාට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මොවුනට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් සමඟ රුපියල් දහසක දඩයක් ද නියම කළේය.

දඩ මුදල නොගෙවන්නේනම් තවත් බරපතළ වැඩ සහිත මාස 06ක සිරදඬුවමක් නියම වන බව ද මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේය.

මෙසේ මරණීය දණ්ඩනය නියම වූයේ කේ. ජී. රන්බණ්ඩා, එච්. එම්. සිසිර කුමාර, ඊෂ්වර කංකානම්ගේ නන්දසිරි, එම්. ජී. පොඩිඅප්පුහාමි, ඊෂ්වරකංකානම්ගේ අජන්ත සමරකෝන්, ඩබ්ලිව්. එච්. එම්. පියදාස, ඩබ්ලිව්. එච්. එම්. ධර්මදාස නමැති නිල්දණ්ඩාහින්නේ පදිංචි පිරිසකටය. මොවුන් එජාප පාක්ෂිකයන් ලෙස හඳුනාගෙන තිබේ. නඩුව විභාග වන අතරතුර එම්. ඩබ්ලිව්. ජී. ජයසිංහ, ඊෂ්වරකංකානම්ගේ පොඩිමහත්තයා නමැති අය මරණයට පත්වූහ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ තාරක ධර්මසිරි, නලීන් හේවාවසම්, නීතිඥ මහත්වරු පෙනී සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා