ශ්‍රී ලාංකික නර්තන කලාව සමා­ජ­යට අත්‍ය­ව­ශ්‍යම විෂ­යක් බව තහ­වුරු කළ යුතුයි

ශ්‍රී ලාංකික නර්තන කලාව සමාජයට අත්‍යවශ්‍යම විෂයක් බව තහවුරු කළ යුතුයි

ලෝක නර්තන දිනය අද ට (29) යෙදි තිබේ. ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.

• නර්තනය යන්න ඔබගේ අදහස ගැන සඳහන් කළොත්?

නර්තනය යනුවෙන් හඳුන්වන්නේ ඕනෑම රටක ඕනෑම සමාජයක ජනතාව තුල තිබෙන්නා වූ ආත්මීය ප්‍රකාශන, නර්තන මාධ්‍යයෙන් තමන්ගේ ප්‍රේක්ෂක ජනතාව වෙත සංජානනය කෙරෙන ප්‍රබල සන්නිවේදන ක්‍රමවේදයක්. මෙය රටින් රට මෙන්ම ඒ ඒ රටවල ජනතාවගේ ඇවතුම් පැවතුම් සිරිත් විරිත් ඇදහිළි විශ්වාස අනුව එකිනෙකට වෙනස් වෙනවා. අප්‍රිකාවේ කළු ජාතික ජනතාව අතර ඇති නර්තනයට වඩා යුරෝපයේ සුදු ජාතීන් අතර පවත්නා නැටුම සම්පුර්ණයෙන්ම වෙනස්. ඇමෙරිකාවේ රතු ඉන්දියානුවන් සතු නැටුම හා දකුණු ආසියාවේ ප්‍රාථමික සමාජ වල දක්නට ඇති නැටුම ඉඳුරාම වෙනස්. එය එසේ වුවත් ඒ ඒ රටවල ආවේණික නර්තනය ඒ ඒ රටවල ජාතික අනන්‍යතාව පිළිබිඹු කෙරෙන ප්‍රබල සංකේතයක්.

• ලෝක නර්තන දිනය යන්නෙහි අර්ථය කුමක්ද?

1950 ගණන්වල ආරම්භ කළ යුනෙස්කෝ සංවිධානය විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ හා විශේෂ ජන වර්ග පිළිබඳ මෙන්ම ස්වභාවික වස්තු අරභයාද වර්ෂයකට එක් එක් දිනයක් නම්කර තිබෙනවා. උදාහරණයක් ලෙස කීවොත් ලෝක නාට්‍ය දින, ලෝක සංස්කෘතික දිනය, ලෝක පරිසර දිනය, ලෝක ආදිවාසී දිනය වශයෙන්.

ඒ අනුව 1982 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය යටතේ පවත්නා ජාත්‍යන්තර රංග ශාලා ආයතනය (ITI) හෙවත් ප්‍රාසාංගික කලාව පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය සෑම වර්ෂයකම අප්‍රේල් මස 29 වන දින ලෝක නර්තන දිනය ලෙස නම් කොට තියෙනවා. මෙහිදී සිදු කෙරෙන්නේ අදාල වර්ෂයේදී ලෝකයේ ඕනෑම රටක සිටින නර්තන කලාව වෙනුවෙන් අතිවිශාල සේවයක් කළ ශිල්පියෙකු හෝ ශිල්පිනියක ඉතා සූක්ෂම ලෙස සිදු කෙරෙන ක්ෂේත්‍ර පර්යේෂණයකින් පසු තෝරාගෙන ඔහුට හෝ ඇයට අදාළ වසරේ ලෝක නර්තන දින පණිවිඩය ලබා දෙන ලෙස දන්වා ඔහු හෝ ඇය අගය කිරීමයි. මෙවර ලෝක නර්තන දිනය වෙනුවෙන් තෝරා ගෙන ඇත්තේ ප්‍රංශ ජාතික මෞරට් මර්සාකි (MOURAD MERZOUKI) ශිල්පියා යි. ඒ අනුව ඔහු නර්තන දිනය වෙනුවෙන් නිකුත් කරන ලද ප්‍රකාශනය ලොව පුරා බෙදා හරිනු ලබන අතර විවිධ රටවල් ඒ අනුව අදාළ දිනයේදී ලෝක නර්තන දිනය සමරනු ලබනවා.

• ලෝක නර්තන දිනය අපට ඇති වැදගත් වන්නේ ඇයි?

මෙම ප්‍රශ්නය ඉතාම වැදගත්. සමාජීය නර්තනය නොඑසේනම් Social Dance නමින් විශේෂතා හඳුනාගත හැකි අපට ආවේණික නර්තන කලාවක් ලංකාවේ නැතත් නර්තනය පාර්ශවයෙන් ඉතා විශිෂ්ට ගණයේ සම්ප්‍රදායික නර්තන කලාවක් හා ව්‍යවහාරික නර්තන කලාවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටකට ලෝක නර්තන දිනය වැදගත් වන්නේ නර්තනය යන විෂය ක්ෂේත්‍රය සමාජයට අත්‍යවශ්‍ය ප්‍රබල විෂය ක්ෂේත්‍රයක්ය යන අදහස සමස්ත ලාංකීය ජනතාව වෙත දැනවීම සම්බන්ධයෙනි. ලාංකීය නර්තනය හුදු නර්තනයක්ය යන සමාජ දුර්මුඛය ඉවත්කොට ඒ වූ කලි මානව සමාජයකට අත්‍යවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් ලෙස ලෝකයම පිළිගන්නා කලාවක්ය යන අදහස සමාජය තුලට සාන්ද්‍රනය කරමින් එම තත් කලාව මානව සම්පත් හා ක්‍රියාකාරම් ජාතික වශයෙන් ඇගයීමට ලක් කිරීමටත් අවස්ථාව ලැබෙනවා.

• මෙවර ලෝක නර්තනදිනයේ ශ්‍රී ලංකා උළෙල යාපනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව්. විශේෂ හේතුවක් තිබෙනවා. ගරු සංස්කෘතික ඇමැති ටී . බී . ඒකනායක මැතිතුමාගේ ප්‍රබල අවශ්‍යතාවයක් තිබෙනවා සමාජ සංහිදියාව හා සංස්කෘතිය තුලින් අර්ථවත් කරමු යන සංකල්පය. ඒ සඳහා මෙවර ලෝක නර්තන දිනය යාපනේදී පැවැත්වීම ඉතාම කාලෝචිත බව එතුමාගේ අදහස විය. ඊට හේතුවන තවත් කාරණාවක් තමයි පසු ගිය දෙසැම්බර් මාසයේ ඇමතිතුමා ඇතුළු කලාකරුවන් රාශියක් තෛපොංගල් උත්සවය සැමරීමට කොළඹ සිට කිලිනොච්චියට ගියා. එහිදී දමිල ජනතාව හා එක්ව ඉතා සහයෝගයෙන් තෛපොංගල් උත්සවය සැමරුවා. එහිදී ලද මිත්‍රත්වයේ අත්වැල තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර ලෝක නර්තන දිනය යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කළා.

තිස් අවරුදු යුද්ධයකට පසු හෝ ඊට පෙර මෙතරම් ජනප්‍රිය කලාකරුවන් සංඛ්‍යාවක් බහුතර දමිළ ජනතාවක් ජීවත්වෙන කිලිනොච්චිය වැනි ප්‍රදේශයකට ගොස් ඔවුන්ගේ සංස්කෘතිය අගයමින් මෙවැනි කටයුත්තක් සිදුකොට නැහැ.

• උත්සවය සංවිධානය කරලා තියෙන්නේ කුමන ආකාරයෙන්ද?

ටී . බී . ඒකනායක ඇමතිතුමා , ලේකම්තුමා , අධ්‍යක්ෂකතුමා , රාජ්‍ය නර්තන අනුමණ්ඩලයේ සභාපති සහ කලා මණ්ඩලයේ සභාපති , යාපනය දිස්ත්‍රික් ලේකම්තුම මෙහිදී දේශන පවත්වනවා.

එදින විශේෂ දේශනය .ප්‍රවීන කලාකාරිනි ලීලම්බිගෙයි සෙල්වරාජා මහත්මිය යි. සිංහල / දමිල ප්‍රාසාංගික අංග රැසක් වේදිකාගත කිරීමට සැලසුම් කොට ඇති අතර චයිරවමුත්තු සිවරාමලිංගම් , ක්‍රිෂාන්ති රවින්ද්‍ර විමල් නයනානන්ද යන සිංහල දමිල ප්‍රවීන කලාකරුවන් හට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන ගෞරව සම්මානයෙන් පිදුම් ලබනවා..

• ජාතික සංහිදියාව සමගිය ගොඩ නැගීමට මෙවැනි උත්සව පමණක් ප්‍රමාණවත් කියා ඔබ සිතනවාද?

සත්‍ය වශයෙන්ම ප්‍රමාණවත් නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව කලා කෙත පෝෂණය කිරීම හා ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව ගෙන යාමේ වැදගත් වැඩපිළිවෙළට අනුව අප සිංහල දමිල මුස්ලිම් බර්ගර් මේ සියලු ජාතීන් අතර සංස්කෘතික විෂය ක්ෂේත්‍රය තුළින් සහජීවනය ගොඩ නගමින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය හා ආගම් වලට ගරු කරමින් පවත්නා දැනුම හුවමාරු කර ගනිමින් හා තිබෙනා දැනුම වැඩි දියුණු කිරීමට වැඩ පිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක යි.

කිලිනොච්චිය, අම්පාර, යාපනය, මඩකලපුව, නුවරඑළිය වැනි උතුරු හා නැගෙනහිර පලාත්වල දමිල කලාකරුවන් සඳහා නර්තන පුහුණු වැඩමුළු, දේශන, සංදර්ශන , සම්මන්ත්‍රණ රාශියක් මේ වනවිට පවත්වා තිබෙනවා. ඊට නිදසුනක් මම කියන්නම්. ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ පරිදි මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලට උතුරු නැගෙනහිර පලාත්වලින් දමිල නාට්‍ය රාශියක් ඉදිරිපත් කිරීමට අපට හැකි වීමෙන් එය සනාථ වෙනවා. දකුණේ ජනතාව අතරටද උතුරේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දමිල සංස්කෘතිය නමින් මා පසුගිය දා ග්‍රන්ථයක් පවා ප්‍රකාශයට පත් කලා.......

• මේවා මෙසේ ක්‍රියාත්මක වෙමින් මෙරට සාමය, සහජීවනය, සංහිදියොව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති බවට දේශීය විදේශීය කුමන්ත්‍රණ තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මේවායේ කිසිදු සත්‍යතාවයක් නැහැ. ලෝකයේ කිසිඳු රටක ජන නායකයෙකු නොකරන, නමුත් අපේ රටේ ජනමුල නායක අතිගරු ජනාධිපතිතුමා ඒ ඒ ජනතාව ජීවත්වන ප්‍රදේශවලදී ඔවුන්ට හිමි මව් භාෂාවෙන් ඔවුන් ආමන්ත්‍රණය කරනවා. මෙය ලෝකයේ විරල සංසිද්ධියක්. අපේ රටේ දියුණුවට අකමැති දමිල ඩයස් පෝරාවට ඔත්තු සපයන කළු සල්ලි මත යැපෙන, ඇතැම් අය වර්තමාන රජයේ සාමය හා සංහිඳියාව වැඩපිළිවෙල විකෘති කර තොරතුරු එළි කරනවා.

අපි කරනා මෙවැනි සංහිඳියාව පිළිබඳ රජයේ කටයුතු වලට මීට වඩා ප්‍රචාරයක් අවශ්‍යයි කියල මම හිතනවා.

ඇත්ත කතා කළොත් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම ජන වර්ගයකම තමාට අභිමත පරිදි ආගම් අදහමින් සංස්කෘතික අංග පවත්වන්න නිදහස ලැබී තිබෙනවා. එය සත්‍යයක්. එම සත්‍ය පිළිගැනීමට නොකැමැති අය මේවා පිළි නොගැනීම පුදුමයක් නොවේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා