යුරෝපා සංගමයේ මාළු තහංචිය බොරුවක් !

යුරෝපා සංගමයේ මාළු තහංචිය බොරුවක් !

- මේ බොරු ප්‍රචාර ගෙන යන්නේ මාළු වගේම යුරෝපා සංගමය ගැනත් නොදන්නා අයයි

- අපනයනයට පැනවූ කොන්දේසි 90%ක් දැනටමත් සපුරා අවසන්

- අමාත්‍යාංශය සැකසූ වාර්තාව සංගමය වෙත දැනටමත් යවලා

- ඉතිරිව තිෙබන VMS පහසුකම් ලබන මස සිට බහු දින යාත්‍රාවලට

ධීවර ඇමැති මාධ්‍ය හමුවේ දී අවධාරණය කරයි

යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය අපනයනයන්ට පනවා ඇති කොන්දේසිවලින් 90%ක් මේ වන විට සපුරා ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

 මෙයින් තව ඉතිරිව ඇත්තේ යාත්‍රා සුපරීක්ෂණ පද්ධති (VMS) ස්ථාපිත කිරීම පමණක් බවත් ඒ සඳහා කැබිනට් අනුකාරක සභාවෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලද අනුමැතිය මත ලබන මස සිට බහුදින යාත්‍රා සඳහා VMS පහසුකම් ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා පවසයි.

මෙම සංගමය ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ ඇතැම් කොන්දේසි මේ වන විටත් සපුරා තිබූ ඒවා මෙන්ම ඇතැම් කරුණු සාවද්‍ය හා පරස්පර බව කී ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සකස් කළ පිටු 300ක වාර්තාව ඊයේ (04) එම සංගමය වෙත යැවූ බවද අවධාරණය කරයි.

ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කර සිටියේය. එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

යුරෝපා සංගමය මඟින් පනවා ඇති කොන්දේසි නිසා අපගේ ධීවර කර්මාන්තය, මත්ස්‍ය අපනයන අවදානමක පවතින බවට ඇතැම්පිරිස් පවසමින් සිටිනවා. මේ කොන්දේසි හෝ යුරෝපා සංගමය ගැනවත් නොදන්නා පිරිසක් මේ අනුවණ ක්‍රියාවේ යෙදී සිටිනවා.

ඔවුන් අපට ජනවාරි 15 දක්වා කාලය ලබාදී තිබෙනවා. එහෙත් එයට පෙර අප සපුරාලිය යුතු කොන්දේසි සියල්ල සඳහා විසඳුම් අපට ලබාදිය හැකියි. මේ සම්බන්ධයෙන් වූ කරුණු 08කින් 07ක් අප සපුරා අවසන්. ඉතිරිව ඇත්තේ VMS පද්ධති ධීවර යාත්‍රා සඳහා සවි කිරීමයි.

දැනට අප රටේ පාර්ලිමේන්තුව සම්මත කරගත් පරිදි අනුන්ගේ මුහුදු කලාපයකට ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රාවක් ඇතුළු වුවහොත් නියම කර තිබුණේ රුපියල් මිලියන 1.5යි. නමුත් යුරෝපා සංගමය දන්වා ඇත්තේ එම දඩ මුදල ප්‍රමාණවත් නැති බවත් එය ඩොලර් මිලියනයක් විය යුතු බවත්. ඒ වගේම විශාල බහුදින ධීවර යාත්‍රාවකට රුපියල් මිලියන 150ක දඩයක් නියම කළ යුතු බව යුරෝපා සංගමය දන්වා තිබෙනවා. මේ අනුව මා මෙයට දෙසතියකට පෙර මේ සඳහාවූ කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර අදාළ සංශෝධන සඳහා අනුමැතිය ලබාගත්තා.

ඇත්ත වශයෙන්ම යුරෝපා සංගමය අපට කර ඇත්තේ අවවාදයක්. මෙහි යම් දේශපාලන පසුබිමක් නොමැති බව යුරෝපා සංගමය දන්වා තිබෙනවා. එය 100%ක්ම නිවැරැදි දැයි මා දන්නේ නෑ. නමුත් ඔවුන්ගේ ස්ථාවරයේ යම් පරස්පරතාවයන් තිබෙනවා.

මේ අයගේ තවත් ඉල්ලීමක් වන්නේ ධීවර යාත්‍රා සඳහා නිරීක්ෂකයන් පත්කිරීමයි. මීටර 24 වැඩි යාත්‍රා අප සතුව ඇත්තේ 10ක් පමණයි. අනෙක් ඒවා මීටර 15 - 24 අතර ප්‍රමාණයේයි. මේ යාත්‍රා 10ට අප නිරීක්ෂකයන් 20ක් පත් කර තිබෙනවා. මෙතැනදී ඒ අය කියන්නේ සම්පූර්ණ යාත්‍රා පද්ධතියෙන් 25% නැත්නම් ලොකු යාත්‍රා පද්ධතියෙන් 35% ප්‍රතිශතයක් නිරීක්ෂකයන් සිටිය යුතු බවයි. එසේ බැලුවහොත් අප මේ ඉලක්ක දැනටම සපුරා අවසන්.

අපේ මුහුදේ චීන යාත්‍රා මසුන් ඇල්ලීමෙහි නිරතවන බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් අපේ මුහුදට පැමිණ මසුන් අල්ලන්නට B.O.I. ලියාපදිංචි වූ ශ්‍රී ලාංකික සමාගම් නම් තිබෙනවා. මේ සමාගම් ජාත්‍යන්තර මුහුදට ගොස් මසුන් අල්ලනවා. ඒවාගෙන එන්නේ අපේ වරායන් වලට. මේ පහසුකම් ඔවුනට නොදුන්නොත් ඔවුන් පූකට්වලට ගොස් මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රයට එක්වේවි. එහිදී ඔවුන් ඉහළ ආදායම් උපයාවි. එවිට අපට විශාල ආදායමක් අහිමි වනවා.

මත්ස්‍ය සම්පත සඳහා කෝටා ක්‍රමයක් ගෙන ආවොත් එහිදී අපට අවාසි වනවා. එවිට අපට අවසර හිමිවන්නේ මසුන් මෙට්‍රික් ටොන් 362 අල්ලාගැනීමට පමණයි. එසේ වුවහොත් අපේ රටේ ධීවර කර්මාන්තය විනාශයි. 'කෝටා ක්‍රමය' ගැන හසරක් නොදන්නා පුද්ගලයන් මේ ගැන උද්ඝෝෂණ පවත්වනවා. අපගේ කෝටා ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවිය යුතු බව මගේ අදහසයි.

මත්ස්‍ය, මාංශ වෙළෙඳාමෙන් මා හරිහම්බ කරගන්නේ නෑ. මගේ පවුලේ සාමාජිකයන් මස් මාංශ අනභව කරන්නේ නෑ. මම මේ තීන්දු තීරණ ගත්තේ ධීවර කර්මාන්තයේ අනාගත අභිවෘද්ධියටයි. මේ යෝජනාවලට සැලසුම්වලට අද පහරගහන අයට අනාගතයේදී 'රාජිත සේනාරත්න ධීවර ඇමැතිවරයා' කියූ දේ නිවැරැදි බව වැටහේවි.

රටට හානිවන කිසිම තීරණයක් මා දිවි ඇතිතුරු ගන්නේ නෑ. හෙට දිනයේ මා ධීවර ඇමැතිවරයා නොවුණත් මා ගත් නිවැරැදි තීන්දු ජාත්‍යන්තරයේ පවා කතාබහට ලක්වේවි. ඇමැතිකමෙන් මා ඉවත් වන්නට සිදුවුවත් රට විකුණා සල්ලි සොයන්නේ නැහැ. මගේ ප්‍රතිපත්ති කිසිදා වෙනස් කරන්නේත් නැහැ. මගේ අරමුණ රටේ මන්දපෝෂණය දුරු කිරීමයි' යැයි කීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා