ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ක්‍රීඩාව දියුණු කිරීමට ආණ්ඩුව කටයුතු කළා

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ක්‍රීඩාව දියුණු කිරීමට ආණ්ඩුව කටයුතු කළා

ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි

වර්තමාන ආණ්ඩුව ගෙවුණු දශකයක කාලසීමාවේ කළ පූර්ණ රාජ්‍ය මැදිහත්වීමත් සමඟින් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළීමට හැකි වුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කෙළේ බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියෝජිතයන් 5000ක් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (04) පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.

තව දුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේද කීය

ගෙවුණු කාලය තුළ ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට දක්ෂතා දැක්වීමට අප ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූණා. ඒ වෙනුවෙන් කැපකිරීම් කළ සියලුදෙනාටම ගෞරවකරනවා. ජනප්‍රිය ක්‍රීඩා කිහිපයකට සීමා නොවී සෑම ක්‍රිඩාවක්ම දියුණු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළා. අපට අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ හැකි තවත් ක්‍රීඩා ඇති අතර එම ක්‍රීඩා පිළිබඳවත් අවධානය යොමු කර සැලසුම් සහගතව කටයුතු කළ යුතුයි.

2017 දී මෙරට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන ගම්වල ක්‍රීඩකයන් පුහුණු කිරීමේ අවශ්‍යතාවය ති‍බෙනවා. මුදල් ඇති ක්‍රීඩා සංගම් මුදල් නොමැති සංගම්වලට උපකාර කිරීමේ වැදගත්කමක් තිබෙනවා. මවුපියන් සිය දරුවන් ක්‍රීඩා වෙත යොමු කරන්නේ විනයත් ආරක්ෂාවත් ඇතැයි යන බලාපොරොත්තුවෙන්. ඒ කෙරෙහිත් අපගේ අවධානය යොමු විය යුතුයි.

එම පළාත් තුන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා සංගම් නියෝජියතන්, ක්‍රීඩා නිලධාරින්, පුහුණුකරුවන් මෙම අවස්ථාවට එක් ව සිටි අතර ජාතික ක්‍රීඩා සංවර්ධනය උදෙසා කළ මෙහෙවර අගයා ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් ප්‍රදානය කෙරිණි.

රට පුරා සියලු ක්‍රීඩා සංගම් වෙත ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය සංකේතවත් කරමින් ජනාධිපතිතුමාගේ අතින් මෙහිදී බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් ක්‍රීඩා සමාජ වෙත ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කෙරිණි.

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, අමාත්‍යාංශ ලේකම් නන්ද මල්ලවආරච්චි, ශ්‍රී ලංකා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්වරුන් සහ පළාත් ක්‍රීඩා ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා