පළාත් පාලන ආයතනයන්හි ආදායම් අයකර ගැනීමේ වර්ධනයක්

පළාත් පාලන ආයතනයන්හි ආදායම් අයකර ගැනීමේ වර්ධනයක්

පළාත් පාලන ආයතනයන්හි අයවැය ඵලදායී ලෙස සකස් කිරීම, ආදායම් එක්රැස්කිරීමේ කාර්යක්ෂමතාව හා වියදම් පාලනය යන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතු බව ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීමේ ව්‍යාපෘතියේ කළමනාකාර ආර්. ෂන්මුගරාජා මහතා පවසයි.

හෙතෙම පෙන්වා දෙන්නේ එය පළාත් පාලන ආයතනයන්හි විධිමත් ආදායම් කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමේදී අත්‍යවශ්‍ය කරුණක් බවයි.

පළාත් පාලන ආයතන ස්වයං ආදායම් මාර්ගවල හිඟ පිළිබඳ තාක්ෂණික හා නීතිමය අවබෝධය සහිත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම උචිතය.

පොදුවේ ගත්කළ පළාත් පාලන ආයතනයන්හි වරිපනම් ආදායමේ හිඟ මුදල් විශාල ලෙස දක්නට ඇති බව ෂන්මුගරාජා මහතා පෙන්වා දෙයි.

උසාවි දඩ හා මුද්දර ගාස්තු පළාත් පාලන ආයතනයන්හි අනෙකුත් ආදායම් මාර්ග වේ.

එම ගාස්තු විධිමත් ලෙස රැස්කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් සකස්කිරීමේ වැදගත්කමද අවධාරණය කෙරේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමය, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන ලදී.

එහි අරමුණ වූයේ පළාත් පාලන ආයතනයන්හි ස්වයං ආදායම් වැඩිදියුණු කිරීමයි.

2013 වසරේ දෙසැම්බර් 31 වැනි දිනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්හි හිඟ තිබූ ආදායම රුපියල් දොළොස් කෝටි පනස්තුන්ලක්ෂ පනස් දෙදහස් තුන්සිය පනස් හතක් විය. (125352357) මේ ව්‍යාපෘතියේ මැදිහත්වීම මත 2014 වසරේ මුල් කාර්තුවේදී එයින් රුපියල් හැටහය ලක්ෂ පනස්තුන් දහස් අටසිය අසූ හතරක් අය කර ගැනීමට හැකි වී තිබේ.

පළාතේ දෙසැම්බර් 31 දින පැවති හිඟ ආදායම රුපියල් හතළිස් කෝටි අසූ එක්ලක්ෂ හතළිස් හත්දහස් හයසිය අනූ තුනකි.

කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතියේ මෙහෙයවීම මත 2014 වසරේ මැයි සිට අගෝස්තු දක්වා කාලය තුළ පළාත් පාලන ආයතන 18හි ආදායම් අය කර ගැනීමේ යහපත් වර්ධනයක් දක්නට ලැබිණි.

ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීමේ ව්‍යාපෘති කළමනාකරු ආර්. ෂන්මුගරාජා මහතා අනාවරණය කළේ එහිදී රැස්කළ හිඟ ආදායම රුපියල් හයකෝටි අනූහතර ලක්ෂ හැත්තෑපන්දහස් හාරසිය හැටතුනක් බවයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා