සාරධර්මවලින් පිරි දැහැමි සමාජයකට 'සම්මාභිමානී'වැඩසටහන් රටපුරා

සාරධර්මවලින් පිරි දැහැමි සමාජයකට 'සම්මාභිමානී' වැඩසටහන් රටපුරා

පසුගිය 30 වසරක කාලයක් මුළුල්ලේ රටේ ජනතාව අතර ජාති, ආගම්, පක්ෂ, පාට භේදවලින් කිලිටි වී තිබූ සිත් සතන් එකතැනකට එක් කර සාරධර්මවලින් පිරුණ හුදෙක්ම දැහැමි සමාජයක් කරා ගෙන යාමේ ඉලක්කය මත රටපුරා 'සම්මාභිමානී' නමින් ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ මෙහෙයුමෙන් යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් ලබන 07 වැනිදා ඇඹිලිපිටිය නගරයෙන් මේ දැවැන්ත ආගමික වැඩසටහන ආරම්භ කෙරේ.

අඩුම වශයෙන් පුද්ගලයන් දස දහස බැගින් සම්බන්ධ කරගෙන සිදු කෙරෙන මෙම වැඩසටහන හුදෙක්ම ආගමික වැඩසටහනක් නොව සෑම ආගමකම ජාතියකම අය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ජීවිතය යහපත් එකක් බවට පත්කරගෙන ඉන් එම අනාගතය සාර්ථකත්වය කරා ගෙන යාමට උපදෙස් ලබාදෙන වැඩසටහනක් බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේ පැවසූහ.

පුද්ගලයකුගේ ජීවිතය දැහැමි වන විට ඔහුගේ පවුල් ජීවිතය සාර්ථක වෙයි. පවුල් ජීවිතය සාර්ථක වන විට රටම සාර්ථක වෙයි. අනතුරුව රටේ විවිධ අපරාධ, දූෂණ, වංචා, අඩ දබර, කෲර, ම්ලේච්ඡ ක්‍රියා ඇතුළු භයානක දෑ සමාජයෙන් තොර වෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අරමුණ වී තිබෙන්නේ එවැනි අපරාධවලින් තොර දැහැමි සමාජයක් ගොඩනැඟීම වෙයි.

දැනට රට දැවැන්ත සංවර්ධනයක් කරා යමින් සිටී. වර්තමාන රජයේ සැලසුම් මත මෙරට ජනතාවට අගහිඟකම්වලින් තොර සැලකිය යුතු ජීවන තත්ත්වයක්ද උදා වෙයි. ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී සෑම අංශයකින්ම රට තුළ දියුණුවක් තිබිය යුතු වෙයි. රටේ ජනතාවගේ පැවැත්මද දැහැමි වීම එහි තවත් අංගයකි. එම අංගය තුළින් පුද්ගල චරිතය යහපත් කරවීම මෙම දැවැන්ත වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙයි.

මෙම වැඩසටහන ලබන 07 වැනිදා සිට ලබන අප්‍රේල් දක්වා රට පුරා ක්‍රියාත්මක වෙයි.

ඇඹිලිපිටිය, පැල්මඬුල්ල, රත්නපුර, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මොනරාගල, ගාල්ල, මාතලේ, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වව්නියාව, අනුරාධපුරය, කුරුණෑගල, ‍හෝමාගම, කැස්බෑව, ගම්පහ සහ කඩුවෙල ලබන දෙසැම්බර් 24 දක්වා පැවැත්වෙන නගර වෙයි. මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා පූජ්‍ය පක්ෂයේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ගණනාවක් සම්බන්ධ කරගැනීමට සැලසුම් කර ඇත. තවද මේ සඳහා අනුග්‍රාහකයන් රැසක් සම්බන්ධ වී සිටිති. රටේ බොහෝ කටයුතුවලදී සහයෝගය දෙන යුද්ධ හමුදාවට මෙම වැඩසටහනද ක්‍රියාත්මක කරවීමේ වගකීම භාරවී ඇත.

ඒ අනුව ‍එම වැඩසටහන පැවැත්වෙන ප්‍රදේශවලට විශේෂ ගමනාගමන පහසුකම් ආදියද සැපයේ.

පාසල්, රජයේ කාර්යාල, පුද්ගලික ආයතන ආදිය සහ බන්ධනාගාර පුනරුත්ථාපන කඳවුරු ආදියේද එම වැඩසටහන් පැවැත්වීමට තීරණය කර තිබේ. මේ සඳහා අනුග්‍රහය දැක්වීමට යම් කිසි කැමැති පුද්ගලයකු වෙතොත් ඒ සඳහා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාට ඇමැතිය හැකි වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා