ජාතියේ 85 වසරක පිය සටහන් සියැ’සින් දුටු සාක්ෂිකරු

සිළුමිණ පුවත්පතට 85 වසරක් පිරීම නිමිත්තෙනි

ජාතියේ 85 වසරක පිය සටහන් සියැ’සින් දුටු සාක්ෂිකරු

තිලකරත්න කුරුවිට බණ්ඩාර

සිළුමිණ හිටපු ප්‍රධාන කර්තෘ

kuruvitaslbc@gmail.com

පුරා වසර 85 ක් තිස්සේ නූතන ශ්‍රී ලංකාවේ සිදුවුණු භාෂා සාහිත්‍ය - කලා පරිණාමය - දේශපාලන පරිණාමය - ආර්ථික පරිණාමය - අධ්‍යාපන පරිණාමය හා සංස්කෘතික පරිණාමය සියැසින් දුටු එකම සාක්ෂිකරු ‘සිළුමිණ’ යි. එපමණකුදු නොවේ. ඒ සකලවිධ විෂය ක්ෂේත්‍රවල හැඩතල නිර්මාණයේ දී සාධනීය බලපෑම් කළ පුරෝගාමියා ද ‘සිළුමිණ’ යි. යටත් විජිතවාදී මානසිකත්වයේ ගැලී දේශීය දේ අවමාන පරවශව දකිමින් සිටි ජනතාවට, දේශීය සංස්කෘතික විඥානයක් ලබා දීමේ පුරෝගාමී මෙහෙවරක් ද ‘සිළුමිණ’ ඉටු කළේය. ‘සිළුමිණ’ ආරම්භ කළ ලේක් හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ආරාධනයෙන් 1934 දී සිදු වූ රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ පස්වැනි ලංකාගමනය ‘සිළුමිණ’ මේ මහාර්ඝ ක්‍රියාදාමයට වඩාත් සමීප කළේය. ජාතික නිදහස් සටන පණ ගැන්වීමට ස්වදේශාලයත් - ස්වීය කලා ශිල්ප පිළිබඳ අභිමතයත් උපයෝගී කරගනු වස් සංවිධානය කළ තාගෝර්තුමන්ගේ දේශන හතර මෙරට කලාකරුවන් ප්‍රබෝධවත් කරවන - කල්පනාව පුබුදන බලගතු එන්නතක් විය.

මේ සංස්කෘතික දූත ගමනේ යෙදුණු උදයශංකර් ගේ ‘ශාප් මෝචන්’ රැඟුමත් - ශාන්ති නිකේතන ශිෂ්‍ය කණ්ඩායමේ සංදර්ශනත් කලාකරුවන්ගේ කල්පනාව පුබුදු කළේය. ඉන් අනුප්‍රාණය ලත් ෙප්‍ර්මකුමාර එපිටවෙල, නිමල් වෙල්ගම, චිත්‍රසේන, පණීභාරත, වසන්ත කුමාර, ලයනල් එදිරිසිංහ, ආනන්ද සමරකෝන්, අමරදේව, සුනිල් සාන්ත, අනංගලාල් අතුකෝරාල, එදිරිවීර සරච්චන්ද්‍ර, සෝමබන්ධු විද්‍යාපති අපේ කලාවේ අක්මුල් සොයා භාරතයට ගිය පිරිසෙන් කිහිප දෙනකු පමණි.

ඔවුන් ශ්‍රී ලංකාවට පෙරළා පැමිණ නාට්‍ය, මුද්‍රා නාට්‍ය, සංගීත, නර්තන, චිත්‍ර, සාහිත්‍ය කලාදියෙහි කළ පරිවර්තනය නූතන සංස්කෘතික ප්‍රබෝධයේ අඩිතාලම විය. එහි පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ තාගෝර් ගමනට මුල් ඩී.ආර්. විජයවර්ධනයන්ට ය. එම සංස්කෘතික පුනරාගමනය උද්දීප්තිමත් කිරීමට ඩී.ආර්. විජයවර්ධන සූරීන්ගේ දිනමිණ, සිළුමිණ, තිනකරන්, වාරමංජිරී, ඩේලි නිව්ස්, සන්ඩේ ඔබ්සර්වර් ප්‍රමුඛ ලේක් හවුස් පුවත්පත් ලබාදුන් අනුග්‍රහය සංස්කෘතික වංස කතාවේ සදා සටහන් වනු නිසැකය. සංස්කෘතික විඥානයෙන් හීන බොහෝ ඉංගිරිසි පුවත්පත් කර්තෘවරුන් අදත් ඉංගිරිසි පත්තර පළ කරන්නේ කළු සුද්දන් උදෙසා මිස, ඉංගිරිසි දත් සංස්කෘතික විඥානයකින් යුත් ශ්‍රී ලාංකිකයන්ට නොවේ. ඒවායේ අපේ සාහිත්‍ය කලා ගැන, දේශීය සංගීතය ගැන, ගැමි කලා පිළිබඳ කිසිවක් පළ නොවේ.

එවන් මදිපුංචිකමක් නොවන්නට විජයවර්ධනයන් ඉංගිරිසි පත්තරවලට එදා බඳවා ගන්තේ සංස්කෘතික විඥානයෙන් හෙබි එච්.ඒ.ජේ. හුළුගල්ල, ටාසි විට්ටච්චි, ඩෙන්සිල් පීරිස්, එල්.ටී.පී. මංජු ශ්‍රී, රෙජී කන්දප්පා, රෙජී සිරිවර්ධන, එඩ්වින් ආරියදාස, ගාමිණී වින්ඩ්සර් ආදීහු ය. පසුකාලීනව ධර්මපාල වෙත්තසිංහ, විජිතා ප්‍රනාන්දු, සුමනා සපරමාදු, ඩී.සී. රණතුංග, නිහාල් රත්නායක, අජිත් සමරනායක, රජිතා වීරකෝන් ඒ සම්ප්‍රදායයේ බඳවාගැනීම් විය.

දිනමිණට බඳවා ගත්තේ එච්.ඇස්. පෙරේරා, ඩී.ජේ.බී. විජේසේකර, ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ඇලෙක්සැන්ඩර් වැලිවිට වැන්නවුන් ය. සිළුමිණට පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ, ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ, මීමන ෙප්‍ර්මතිලක, විමලසිරි පෙරේරා, ඩී.එෆ්. කාරියකරවන, එස්. සුබසිංහ වැනි ප්‍රබුද්ධයන් ය. අනෙක් ප්‍රමුඛ නිර්ණායකය වූයේ කර්තෘවරුන්ගේ අනාගතවාදී දැක්මයි.

පිරිපුන් මාධ්‍යවේදියකු අනාගතයට දිගේලි කළ මනසක් ඇත්තකු විය යුතුය, යන්න අද පවත්නා ශාස්ත්‍ර විධි නියමයයි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිෂ්ඨාපනය කරන්නට පෙර, 1930 මාර්තු 30 වැනි දා ‘සත දහයේ විශ්වවිද්‍යාලය’ ආරම්භ කරන ලද්දේ මේ අනාගතයට දිගේලි කළ මනසක් ඇති පිරිපුන් මාධ්‍යවේදියකු වන පියසේන නිශ්ශංක විසිනි. මේ ‘විශ්වවිද්‍යාල’ සංකල්පය කිසිදා විශ්වවිද්‍යාලයකට නොගිය ඔහු කෙරෙහි පිළිසිඳුණේ කවර හේතුවක් නිසා ද?

* අනාගත දැක්ම

‘‘අනාගතය පිළිබඳ අපගේ දැක්ම හැඩගස්වන්නේ සංස්කෘතියයි. සංස්කෘතිමය මූලයන්ගෙන් තොර සමාජය වියවුලෙන් වියවුලට පත් වෙයි. සංස්කෘතික මුහුණුවරින් තොර කවර හෝ ක්‍රියාවලියක ආත්මය විනාශයට පත්වීම අනිවාර්යයි’’

සංස්කෘතිය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ මේ නූතන සංකල්පය එදා පියසේන නිශ්ශංක දැන සිටියේ නැත. එහෙත් එදා යටත් විජිත අවදියේ පවා සංස්කෘතික මූලයන් නොසිඳුණු ජාතියක අවශ්‍යතාව ඔහු දැන සිටියේය. ඒ අනාගතයට දිගේලි කළ මනසක් ඔහුට තිබුණු නිසාය. පුවත්පත, කර්තෘවරයා ගේ විඥානයේ පිළිබිඹුවකි. යන ගෝල්ඩ්ස්ට්‍රීට් සංකල්පය අනුව බලන විට මුල් සිළුමිණ පියසේන නිශ්ශංකගේ විඥානයයි.

ඔහු සතු මහ කළු සිංහලයකුගේ ආරෝහ පරිණාහ දේහ විලාසයත්, පරිපූර්ණ බටහිර ඇඳුම් කට්ටලයත් මූර්තිමත් කර දක්වන්නේ, සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් අත් කරදුන් ප්‍රබල ආත්මයත්, බටහිර සංස්කෘතියෙන් ලත් සකසුරුවම් ආභාසයත් යැයි සිතමි. සැබෑ මාධ්‍යකරුවකුට පවත්නා සමාජය විසින් කෙරෙන බලපෑමෙන් මුළුමනින්ම නිදහස් විය නොහැකිය. එසේම පවත්නා සමාජයේ බලපෑමට මුළුමනින්ම ගොදුරුවන්නට ද පුළුවන්කමක් නැත. පියසේන නිශ්ශංක සිළුමිණ හරහා පූර්ව නිදහස් අවදියේ දී නිදහස් අරගලයට ජන මතය සකස් කළෙත්, පශ්චාත් නිදහස් අවදියේ දී ජාතිය ගොඩනැගීම උදෙසා ජන මනස හැඩගැස්වූයෙත් එබැවිනි. ඒ සැබෑ මාධ්‍යකරුවකුගේ භූමිකාවයි. පියසේන නිශ්ශංක කිරෙන් දිය වෙන්කර ගන්නා රාජ හංසයකු පරිද්දෙන් අපේ සංස්කෘතික සම්ප්‍රදායයෙන් රැකගත යුතු සාරාර්ථ රැකගනිමින් ද - යල් පිනූ හණමිටි, නිර්භීත ලෙස ඉවත දමමින් ද, පෙරදිගින් මෙන්ම අපරදිගින් ද ලැබිය යුතු ආභාසය පමණ දැන ලබා ගනිමින් ද, දැනුවත් - විචාරවත් පාඨක පිරිසක් තනා ගැනීමෙහි ප්‍රෝත්සාහී විය. මේ යුග පුරුෂයා එදා සිළුමිණ සැලසුම් කළේ ජගත් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍ර විධි නියමයන් තබා, එවන් ශාස්ත්‍රයකුදු බිහිව නොතිබුණු අවදියකදී ය. එහෙත් විස්මය නම්, අද දියුණු ශාස්ත්‍රයක්ව පවතින ජනමාධ්‍ය විද්‍යාවේ සකලවිධ මූල ධර්මයන්ට පියසේන නිශ්ශංකගේ සැලසුම් අත්‍යන්තයෙන්ම එකඟවීමයි. අද ඉතා පුළුල් විෂයයක් වී තිබෙන ජනමාධ්‍යයේ පරමාර්ථවලට ද ඔහුගේ සැලසුම් මනාව ගැළපීමයි. ඉනුදු පිළිබිඹු වන්නේ පිරිපුන් මාධ්‍යවේදියකුගේ විශද බුද්ධියයි. විචක්‍ෂණභාවයයි. පෙරමග දැක්මයි

* ප්‍රථම ටැබ්ලොයිඩ් අතිරේකය

ප්‍රථම සිළුමිණ පත්‍රයේ එන ශාස්ත්‍රීය සහ ඓතිහාසීය අතිරේකය ශ්‍රී ලංකාවේ සති අන්ත පුවත්පතකට ඇතුළත් වූ විද්වතුන් සඳහා වූ ප්‍රථම ශාස්ත්‍රීය ලිපි එකතුව පමණක් නොව, ඉරිදා පුවත්පතකට එක් වූ ප්‍රථම ‘ටැබ්ලොයිඩ්’ පුවත්පත ද වන්නේය. ‘‘සිළුමිණ පත්‍රයේ 3 වෙනි 4 වෙනි පිටු ශාස්ත්‍රීය අතිරේකයක් වශයෙන් සලකනු ලැබේ. ඒ කොළය පත්‍රයෙන් කඩා ඉවතට ගත් කල්හි, වඩා හොඳ ප්‍රමාණයක පිටු 4 ක් සේ ගණන් ගැනේ. සිළුමිණ පත්‍රයේ ශාස්ත්‍රීය ලිපි සතරම මේ පිටුවල ඇතුළත් වන බැවින් එය පත්‍රයෙන් ගලවා පරෙස්සම් කිරීමෙන් වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන්නේය.’’ සිළුමිණ මුල් පිටුවේ මේ සඳහනින් සනාථ වන්නේ එවක පැවැති යාන්ත්‍රික අපහසුතා නිසා කපා වෙන් කර ටැබ්ලොයිඩ් පිටු වශයෙන් වෙන් නොකළ ද, මෙය සිළුමිණ සමග දෙන පිටු 4 ක ටැබ්ලොයිඩ් පුවත්පතක් බවය. (අද පළවන වල්පල් පිරි ටැබ්ලොයිඩ් පත්තර හා සසඳා බැලීම මැනවි.)

සිළුමිණ ‘ශත දහයේ විශ්වවිද්‍යාලය’ විරුදාවලිය ලැබීමට හේතු වූයේ මේ ‘ටැබ්ලොයිඩ්’ අතිරේකයයි. අද පුවත්පත්වල විවිධ නම්වලින් පළ කෙරෙන සෑම විශේෂාංගයක්ම ප්‍රථම සිළුමිණ පත්‍රයේ සිටම පළ වී තිබීම සැබවින්ම විස්මයජනක කාරණයක් සේ සැලකිය හැකිය.

මෙරට සහ පිටරට ආරංචි (9 පිටුව) අද ‘‘දෙස් විදෙස් පුවත්’’ ය. නීරෝගීභාවය සහ රෝග වැලඳීම (11 පිටුව) අද ‘‘සෞඛ්‍ය විශේෂාංගය’’ ය. අපරාධ සහ අධිකරණය (11 පිටුව) අද ‘‘උසාවි තොරතුරු’’ ය. පිටින් ලැබෙන ලියුම් (12 පිටුව) අද ‘‘කර්තෘට ලියුම්’’ ය. ක්‍රීඩා ප්‍රවෘත්ති (13 පිටුව) අද ‘‘ක්‍රීඩා විශේෂාංග’’ ය. සීයාගේ සිනා කතා (14 පිටුව) හාස්‍යෝත්පාදක කතා අද විවිධ නම්වලින් හැඳින්වේ. ‘මනරම් නිවස’ (15 පිටුව) සබුද්ධික කාන්තාවන් හා ළමයින් උදෙසා වෙන් වූවකි.

අද කාන්තා හා ළමා පිටු පුවත්පතක අනිවාර්ය අංග බවට පත්ව තිබේ. ‘සූප ව්‍යංජන’ අද නවීන සූපවේදීන්ගේ කෑම වට්ටෝරු හෙවත් ‘‘ඉවුම් - පිහුම්’’ අතිශය ජනප්‍රිය විශේෂාංගයකි. ගුරුවරයා සහ ශිෂ්‍යයා (16 පිටුව) ඉගෙනීම හා ඉගැන්වීමට වෙන් වුණු මේ විශේෂාංගය අද ‘‘සිසු අත්වැල’’ ලෙස බොහෝ ප්‍රකාශනවල හැඳින්වේ. ග්‍රන්ථ විවරණ (16 පිටුව) ‘‘පොතපත විත්ති’’ - ‘පොත්ගුල’ - ‘ග්‍රන්ථ විචාර’ ආදී විශේෂාංග බවට පත්ව ඇති බව පෙනේ.

අද ව්‍යාපාරික හා කෘෂිකර්ම අතිරේක ලෙස පළ කෙරෙන පුළුල් විශේෂාංග මුල්ම සිළුමිණේ පළ කෙරෙන්නේ ‘‘කෘෂිකර්මෝපදේශ සහ වාණිජෝපදේශ’’ යන සිරස්තලයෙනි. සීබට් ඩයස්ගේ ජුලියස් සීසර් නාට්‍යය පිළිබඳ විස්තරයකින් ඇරැඹෙන ‘නෘත්‍ය මණ්ඩපය’ (19 පිටුව) නාට්‍ය කලාවට වෙන් වූවකි. ‘ජාතික ශිල්ප’ නම් පොදු සිරස්තලය යටතේ ‘සිංහල ගෘහ නිර්මාණ ශිල්පය’ (10 පිටුව) නම් ලිපිය අද පත්තරවලත්, විද්‍යුත් මධ්‍යයේත් ‘කැදැල්ල’ - ‘නිවහන’ වැනි නම්වලින් හඳුන්වනු ලබන ගෘහ නිර්මාණ ශිල්ප සැලසුම් පිළිබඳ ජනප්‍රිය විශේෂාංගයට සමාන වෙයි. විශේෂිත අවස්ථා පිළිබඳ ප්‍රවෘත්ති ඡායාරූපමය වාර්තා අද පත්තරවල සුලබය. එදා ‘ස්වදේශීය සහ විදේශීය ප්‍රවෘත්ති ප්‍රකාශ වන ‘සිළුමිණ ප්‍රතිරූ’ පිටුව (20 පිටුව) යනුවෙන් පළ වී ඇත්තේ මේ කැමරා ඇස ගිය තැන්ම නොවේද?

අද ඉතා ජනප්‍රිය තෑගි තරග මුල් පත්‍රයෙන්ම අරඹා තිබේ. ‘‘සිළුමිණ තෑගි තරගය’’ - ‘‘දිනාගන්නවා නම් මෙන්න රු. 500 ක්’’ (18 පිටුව) ඡායාරූපයක කපා අවතැන් කළ කැබලි නිසි පරිදි අලවා පැහැදිලි ඡායාරූපය හදා යැවීමෙන් පාඨකයාට තෑගි දිනා ගැනීමට අවස්ථාව සලසා ඇත. අද පත්තර මගින් සංවිධානය කෙරෙන නවකතා තරග නිතර දක්නට ලැබේ.

දිනමිණ පත්‍රය මගින් පවත්වන ලද ‘දිනමිණ ප්‍රබන්ධ කතා’ තරගයේ (18 පිටුව) ජයග්‍රහණය, හිමි නමක විසින් ලියන ලද ඓතිහාසික නවකතාවකට හිමි වූ බව, මුල්ම සිළුමිණ සඳහන් කරමින් නවකතා හෙවත් ප්‍රබන්ධ කථා කලාවට රුකුල් දීම ‘සිළුමිණ’ අභිලාෂය බව සනාථ කරයි.

* යුග කාරක මෙහෙවර

මේ අරුණුකොට, කාව්‍ය-සිළුමිණ සුභාශිංසන (7 පිටුව) දේශපාලන කාටුන් චිත්‍ර ‘ජර්මන්කාරයා ඉංග්‍රීසිකාරයාට කරන සරදමක් (8 පිටුව) කාටුන් චිත්‍ර - ‘සිළුමිණ විකට චිත්‍රය’ (11 පිටුව) ප්‍රශ්නෝත්තර ‘විචාරණ සහ විසර්ජන’ (14 පිටුව) ආදියෙන් සමන්විත මුල්ම සිළුමිණ අද නූතන මාධ්‍ය විශේෂාංග අකෘතිය අනුව සැලකුව ද පරිපූර්ණය. මේ විශේෂාංග අද ළමා, ක්‍රීඩා, කලා, ව්‍යාපාරික ආදී විෂයබද්ධ වාර ප්‍රකාශන ලෙස ද පුළුල් වී ඇති බව ප‍්‍රකට කරුණකි.

යටත් විජිත පාලන සමයේ බිහිවූ සිළුමිණ ජාතියේ අභිමානය මතක් කරදීමත්, ජාතියේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමත්, රට වැසියන්ට දේශපාලන අවබෝධය ලබා දීමත්, ජාතික සමගියේ අවශ්‍යතාව පෙන්වාදීමත්, ආගම දහම හා සදාචාරයේ අගය පහදා දීමත් සිය යුගකාරක මෙහෙවර ලෙස තෝරාගත් බව පැහැදිලිය. ‘මහජන සේවය සහ ජාතික වර්ධනය මගේ පුවත්පත් කලාවේ අරමුණයි’ යනුවෙන් ලේක් හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන හකුළා දක්වන්නේ මේ සකලවිධ පරමාර්ථයෝ වෙති.

‘‘ජාත්‍යුන්නතියත්, ශාස්ත්‍රෝද්දීප්තියත්, සදාචාරයත්, මහජන සේවයත්, මහජන අර්ථ සංරක්‍ෂණයත් යන ආදියට රුකුල් දීමෙන් ජනතාභිවෘද්ධිය සැලසීම අපේ එක්වන් අධිෂ්ඨානයයි.’’ සිළුමිණ සිය ප්‍රථම කර්තෘ වාක්‍යයෙන් පවසන්නේ ද එයමය.

* විද්වත් ජන ආශ්‍රය

කහවේ ශ්‍රී සුමංගල රතනසාර, ලූණුපොකුණේ ධම්මානන්ද, යගිරල ශ්‍රී ප්‍රඥානන්ද - පැළෑණේ ශ්‍රී වජිරඥාන, තෙල්වත්තේ අමරවංස, කරඳන ශ්‍රී ජිනරතන, විදුරුපොළ ශ්‍රී පියතිස්ස, නාරාවිල ධම්මරතන, කොටහේනේ පඤ්ඤාකිත්ති, වැලිවිටියේ සෝරත, මෙත්ත්‍යෙය, මැදඋයන්ගොඩ විමලකිත්ති, කලූකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේඛර ආදී පැවිදි මහ පඬිවරු ද ඇස්.ජේ. ද.ඇස්. වීරසිංහ, ජේ. සයිමන් ද සිල්වා, ඩබ්ලිව්. ඊ. බොතේජු වැනි බහුශ්‍රැත දේවගැතිවරු ද සර් ඩී.බී. ජයතිලක, සර් ආතර් ද සිල්වා, ඇෆ්. ආර්. සේනානායක, සර් ජේම්ස් පීරිස්, ඩී.ඇස්. සේනානායක, සර් පොන්නම්බලම් අරුණාචලම්, ඊ.ඩබ්ලිව්. පෙරේරා වැනි දේශමාමකයෝ ද ඇස්. මහින්ද හිමි, මීදෙණියේ විමලානන්ද හිමි, ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා, ඩී.ඇල්.ඊ. දිසානායක, පිළිකුත්තුවේ කමලා, කිරිඳිවැල ශ්‍රීමතී සේනාරත්න, මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා, විල්සන් කහඳ සුමිත්‍ර, දාගොන්නේ සෝමා, උඳුගොඩ නවරත්න, සාගර පලන්සූරිය, වැනි කවි කිවිඳියෝ ද ටී.ජී. ඩබ්ලිව්. ද සිල්වා , ඔස්වින් ද අල්විස්, ඇලන්සන් පියදාස, ජී.බී. සේනානායක වැනි කෙටිකතාකරුවෝ ද සිළුමිණ අරා, එය පෝෂණය කළහ.

මේ යටත් විජිත සමයේ ඓතිහාසික වූ ද පුරා විද්‍යාත්මක වූද පර්යේෂණ කෘති පළවූයේ ඉංගිරිසියෙනි. මේ මහාර්ඝ දැනුම් සම්භාරය සිංහල පමණක් දත් බහුතර පාඨක පිරිස වෙත ගෙන යෑමේ වාහකය වූයේ ‘සිළුමිණ’ පත්තරයයි. මේජර් තෝමස් ස්කිනර්ගේ ‘ලංකාවේ පනස් වසරක්’, රොබට් නොක්ස්ගේ ‘ලංකා ගමන් විස්තරය’, ආර්.එල්.බ්‍රෝහියර්ගේ - ‘ලංකාවේ වාරිමාර්ග’, එච්.ඩබ්ලිව්. කේව්ගේ ‘ලංකාවේ නටබුන් නගර’, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දගේ ‘උඩරට කරැල්ල පිළිබඳ ලියවිලි’ ආදී පොතපත සිංහලෙන් කොටස් වශයෙන් පළ කරමින් සිළුමිණ කළ මෙහෙවර උදාරය. එලෙසම ආචාර්ය ඇන්ඩ්‍රයස් නෙල්, චාමර්ස් ආණ්ඩුකාරයා, සර් අයිවර් ජෙනිංග්ස්, ඊ.ඩබ්ලිව්. පෙරේරා, එච්. වින්ටර්නිට්ස්ගේ ඉංගිරිසි ලිපි ද මහාචාර්ය සෙනරත් පරණවිතාන ලියූ ‘සීගිරි කුරුටු ගී’ පිළිබඳ පර්යේෂණ ද මුල්වරට සිංහලෙන් පළ කළේ ‘සිළුමිණ’ යි.

* සත දහයේ විශ්වවිද්‍යාලය

එමපණකුදු නොවේ. ‘සත දහයේ විශ්වවිද්‍යාලය’ මාතර සී. ජස්ටින් විජේවර්ධන වැනි උගතුන් විසින් මහත්මා ගාන්ධි, සුභාස් චන්ද්‍රබෝස්, කමලාදේවී චට්ටෝපාධ්‍යාය වැනි භාරත පුත්‍ර පුත්‍රීන් විසින් නිදහස අරබයා ලියන ලද වේගවත් ලිපි ද රවීන්ද්‍රනාත් තාගෝර් - බලීල් ජිබ්රාන් ආදීන්ගේ නිර්මාණ ද පාඨකයන් හමුවට ගෙන ගියාය. මීට අසූපස් වසරකට පෙර මෙරට සිංහල පාඨක ජනතාවට විශ්ව දැනුම බෙදා දීමට ‘සිළුමිණ’ මුල පිරුවේ එපරිද්දෙනි.

පියසේන නිශ්ශංකයන් මුල් ‘සිළුමිණ’ ට නිර්මාණය කරන විශේෂාංග ආකෘතිය, සති අන්ත සිංහල පුවත්පත් කලාවේ පැරැණිතම - පරිණතම විශේෂාංග ආකෘතිය බව අද තහවුරු වී තිබේ.

* අනන්‍යතා ලක්ෂණ

ඔහුගේ ඇවෑමෙන් කර්තෘ පදවිය භාරගත් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සිට වත්මන් කර්තෘ ලක්‍ෂ්මන් පියසේන දක්වා වන සියලු දෙනාටම කරන්නට ඇත්තේ, එම විශේෂාංග ආකෘතිය තම තමන්ගේ අනන්‍යතා ලක්‍ෂණ ඉස්මතු වන පරිදි හැඩගස්වා ගැනීම පමණි. මාර්ටින් වික්‍රමසිංහ අවදියේ භාෂා සාහිත්‍යය, විචාරය, සංස්කෘතිය, දර්ශනය, පුරා විද්‍යාව, මානව විද්‍යාව, ජගත් සාහිත්‍යය වැනි විෂයයන්ට ප්‍රමුඛත්වයක් ලැබිණි. මීමන ෙප්‍ර්මතිලක අවදියේ සිළුමිණ කොළඹ කවියට තොටිල්ලක් විය. එසේම ගමරට - රටතොට චාරිකා පිළිබඳ රසාලිප්ත ලිපිවලට ප්‍රධාන ස්ථානයක් ලැබිණි. ගාම්භීර සාහිත්‍යය ඉක්මවූ එවක බහුල වශයෙන් පළ වූයේ සෞන්දර්යාත්මක ලිපි බව පැහැදිලිය. විමලසිරි පෙරේරා, කවුඩානේ පියදාස පෙරේරා යන කවීන් සිළුමිණ කර්තෘ පදවිය දැරූ අවදියේදී ද කොළඹ කවියට මුල්තැනක් අත් විය.

මේ නිදසුන්වලින් මා අවධාරණය කර දක්වන්නට වෑයම් කරන්නේ පුවත්පත කර්තෘවරයාගේ විඥානයේ පිළිබිඹුවක් බවයි. අවශේෂ කර්තෘවරුන්ගේ අවදීන් ද මෙසේ නිරීක්‍ෂණය කිරීමෙන් ඔවුන්ගේ විඥානයේ අනන්‍යතා ලක්ෂණ ද අධ්‍යයනය කළ හැකිය. කුසලානේ ලූ මිදි යුෂ කුසලානේ හැඩය ගන්නාක් මෙන්, පූකුරුවේ ලූ මිදි යුෂ පූකුරුවේ හැඩය ගන්නාක් මෙනි.

සිළුමිණ අපේ රටේ ශාස්ත්‍රෝන්නතිය කෙරෙහි මහත් බලපෑමක් කළ සේම, සෙසු මාධ්‍යයන්ට ද යා යුතු දිශාවනතිය පෙන්නුම් කළ බවට ප්‍රබල සාධක දැක්විය හැකිය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ලංකා ගුවන්විදුලි සේවයේ ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ නම් විශේෂාංග නිර්මාණය කර ඇත්තේ පියසේන නිශ්ශංක ‘සිළුමිණ’ ට හඳුන්වා දුන් සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය පූර්වාදර්ශයට ගෙන බව ඔහු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සමග කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බව 2000 අප්‍රේල් 17 වැනිදා ‘සිළුමිණ’ ට සැත්තෑවිය පිරීම නිමිත්තෙන් පළ කළ විශේෂ අතිරේකයේ සඳහන් වී තිබේ. අද හරසුන් විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් අනුකරණය කරමින් පුවත්පත් නිසරු විශේෂාංග නිර්මාණය කරන ආකාරය සලකන විට, ශාස්ත්‍රීය සංග්‍රහය වැනි සාධනීය වැඩසටහනකට පූර්වාදර්ශ සැපැයීම සිළුමිණ කීර්තිය වැඩිවීමට හේතු වන්නේය. සිළුමිණේ දෙවැනි කර්තෘවරයා වූ මාර්ටින් වික්‍රමසිංහ අවදියේ සිංහල කවියේ බලගතු වෙනසක් සිදු වූ ආකාරය සිංහල කාව්‍ය විකාශයේ සටහන් විය යුතු සංසිද්ධියකැයි සිතමි.

* හැඩතල වෙනස් කිරීම

‘‘මාර්ටින් වික්‍රමසිංහ සිළුමිණ කර්තෘකම දැරූ කාලයේ යුරෝපීය සාහිත්‍ය ඉතිහාසය ගැන ඉංගිරිසියෙන් ලියූ පොතක් සිංහලයට පරිවර්තනය කොට සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ පළ කරන ලද්දේය. එකල මම බාල වයසෙහි සිටියෙමි. මම මේ සෑම ලිපියක්ම කියැවීමි. එක්තරා ලිපියක් හෙවත් අර ඉතිහාසයෙන් කොටසක් වෝල්ට් විත්මන් (walt whitma*) නමැති අමෙරිකානු කවියා ගැන විය. අදත් මෙතෙක් එක්සත් ජනපදයේ විසූ අති ශ්‍රේෂ්ඨ කවියා ලෙස පිළිගැනේ. විත්මන්, වෘත්තයෙන් විනිර්මුක්ත වූ පද්‍ය ලියූ බව එහි කියා තිබුණි.

සිංහලයේ වෘත්තයක් නැති පද්‍ය ලිවිය නොහැකි ද? යන පැනය මා කෙරෙහි පහළ විය. මේ අදහස් මා විසින් නිදහස් පද්‍ය යැයි ද සෙස්සන් නිසඳැස් පද්‍ය යයි ද කියන පද්‍ය ක්‍රමයේ උපත විය.

1980 මාර්තු 30 වැනිදා සිළුමිණ (11 වැනි පිටුව) පත්‍රයට නන්දසේන සූරියආරච්චි ජී.බී. සේනානායක සමග කළ සාකච්ඡාවක දී මේ බව සඳහන් කර ඇත. ඒ වික්‍රමසිංහ අවදියේ සාධනීය බලපෑමකි. ශ්‍රී ලාංකික සාහිත්‍යය, සදාචාරය, දේශපාලනය, ආර්ථිකය ආදී සකලවිධ ක්ෂේත්‍රවල හැඩතල වෙනස් කිරීමෙහිලා මහත් බලපෑමක් සිදු කළ සිංහල පත්තර වංශයේ මුදුන්මල්කඩ සේ සැලකෙන සිළුමිණ පත්‍රයේ කර්තෘ පදවිය හෙබවීමේ දුර්ලභ භාග්‍යය 1993 දීත්, 2002 දීත් දෙවරක් මට අත්විය. ඒ හැම විටෙකම මගේ අධ්‍යාංශය වූයේ පියසේන නිශ්ශංක - මාර්ටින් වික්‍රමසිංහ ආදී යුග පුරුෂයන්ගේ මෙහෙවර මෙනෙහි කරමින් කටයුතු කිරීමට වෑයම් කිරීමයි. පැරණිතම - පරිණතම ‘සිළුමිණ’ පත්‍රයේ වත්මන් කර්තෘ ලක්‍ෂ්මන් පියසේන මහතා ද පියසේන නිශ්ශංක - මාර්ටින් වික්‍රමසිංහ ආදී පූර්වගාමීන්ගේ බුද්ධි සම්ප්‍රදායය පූර්වාදර්ශය කොටගෙන ‘සිළුමිණ’ මෙහෙයවීමට අධිෂ්ඨානශීලී ගමනක යෙදෙනු දැක්ම මහත් අස්වැසිල්ලක් බව කිව යුතුය. චිරං ජයතු සිළුමිණ!

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා