විපක්ෂ නායක කවුද කියලා කථානායක තීරණය කරයි

විපක්ෂ නායක කවුද කියලා කථානායක තීරණය කරයි

- විපක්ෂ නායක සත්‍යාගාරයේ දී කියයි

* ඔබතුමාගෙ සම්පූර්ණ නම?

නිලෙත්ති නිමල් සිරිපාල ද සිල්වා

* වයස

අවුරුදු 70

* එංගලන්තෙ ඉඳලා ‍ඉන්දියාවට ගොඩබිමින් කාර් එකක් පැදගෙන ගිය කතාව පොඩ්ඩක් කියමුද?

මම අලුත්කඩේ උසාවියේ වැඩ කරන කාලෙදි එංගලන්තෙ ඉඳලා ආවා මිසිස් පෙරේරා කියලා BBC ගුවන් විදුලියේ සේවය කරන මහත්මියක්. එතුමියට ඕන වුණ එතුමියගෙ මුනුපුරන් දෙන්නා දරුකමට හදාගන්න එංගලන්තයට ගෙනියන්න. ඒ අවස්ථාවේදී එතුමියගෙ නීතිඥයා වශයෙන් කටයුතු කළේ මම. එතුමිය පුදුමයට පත්වුණා මම සති දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ඒ දරුකමට හදාගැනීමේ නඩුව අවසන් කිරීම සම්බන්ධව. එතුමිය ඒ වෙනුවෙන් මට විශාල මුදලක් අතට දුන්නා. නමුත් මම ගත්තේ රුපියල් 2500 ක් පමණයි. නීතිඥ වෘත්තියේදී අපි ඉගෙන ගෙන තියෙනවා තමුන් කරපු වැඩේ ප්‍රමාණයට විතරක් මුදල් අය කරන්න කියලා. මම කිව්වා 2500 මුදල මට ප්‍රමාණවත් කියලා. එතුමිය කිව්වා නීතිඥ මහත්තයා එන්න ඕන එංගලන්තයට කියලා.

* ඒ වෙලාවෙ සිරිමාවො මැතිනිය උදව් කළාද එංගලන්තෙ යන්න?

නෑ... එහෙම උදව්වක් මට අවශ්‍ය වුණේ නැහැ. මොකද එතුමිය මට එව්වා පෙර ගෙවුම් ටිකට් එකක්. ඒ කාලෙ අපට විදේශ විනිමය පිටරට ගෙනියන්න බැහැ. ඒ දවස්වල එංගලන්තෙ අපි යන එක අරමුණක් තමයි කාර් එකක් ගේන්න. ඒ දවස්වල කාර් ගොඩක් මිලයි. මම කාර් එකක් අරගෙන කයිබර් පාක් හරහා ප්‍රංශයට ආවා. එතැනින් ජර්මනියට ආවා. තුර්කියට ආවා. එතැනින් ඇෆ්ගනිස්තානයට ආවා. එතැනින් පාකිස්ථානයට ආවා. එතැනින් ඉන්දියාවට ඇවිල්ලා නැවේ කාර් එක දාගෙන ලංකාවට ආවා.

* ඔබට දැන් වයස හැත්තෑවක් පැනලා. ඔබතුමා දකින විදිහට දේශපාලනය කියන්නෙ මොකක්ද?

දේශපාලනය වශයෙන් මා හඳුන්වන්නෙ අපි ජනතාව වෙනුවෙන් අවශ්‍ය නායකත්වය අවශ්‍ය අවස්ථාවේදී ලබාදීම. දේශපාලනඥයකුගෙන් ජනතාව බලාපොරොත්තු වෙන දේවල් රාශියක් තියෙනවා. නමුත් මේ සියල්ලටම වඩා රට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය නායකත්වය සැපයීමට පුද්ගලයො ප්‍රමාණයක් ඉන්න ඕන. ඒ පුද්ගලයින් තෝරාගන්නෙ ජනතාව. ඒක තීරණය වෙන්නෙ ජනතා විශ්වාසය තුළ. ඒ විශ්වාසය රඳා පවත්වා ගනිමින් අපේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම තුළින් තමයි අපට ඒ කර්තව්‍ය ඉටුකරන්න පුළුවන් වෙන්නෙ.

* දේශපාලනයට සතා සිවුපාවා, ගහකොළ, ඇළදොළ, ගල් පර්වත පවා අයිතිවෙනවා කියලා මම හිතනවා. ඔබතුමාට පුළුවන් ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස කියන්න...

මිනිසුන් ජීවත්වෙන්නෙ සමාජයක් තුළ. මේ සමාජය තුළ මිනිසුන්ගෙ ජීවත්වීම සඳහා උපකාර වන පරිසරය අපි රැකගන්න ඕනෙ. ඒ තුළින් තමයි අපට රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නෙ. මිනිසාගේ ආර්ථික සංවර්ධනය, මිනිසාගේ ආධ්‍යාත්මික ගුණවගාවට මේක අවශ්‍යයි. නැත්නම් සමාජ ක්‍රමය බිඳ වැටෙනවා. සමාජ ක්‍රමයක් බිඳ වැටෙන්නෙ නැතුව පවත්වාගෙන යාමට නම් ආර්ථික සංවර්ධනය පමණක් නෙවෙයි. ඒ සමඟ එකතු වූ ආධ්‍යාත්මික ගුණවගාවත් අපට අවශ්‍යයි.

* “මැති සබයේ රණ හඬ” කියන කෘතියෙ ඔබතුමා ඉතාම අපූරු විදිහට සාකච්ඡා කරනවා පරිසරය රැකගැනීම සම්බන්ධව. එහෙනම් ඇයි ඔබතුමා මහ මැතිවරණය කාලෙ බෙලිහුල්ඔය පහුවෙන තැන ඉඳලා පස්සර දක්වාම දකින දකින හැම කඳු ගැටයකම, කළු ගලකම මම දැකලා තියෙනවා නිමල්, නිමල් කියලා ගහලා තියෙනවා. පරිසර හිතකාමී දේශපාලනය කරපු ඔබ ඇයි මේ ගමේ පරිසරය විනාශ කළේ.

මේක තමයි මනාප ක්‍රමයේ තියෙන වැරැද්ද.

* මනාප ක්‍රමයේ වැරැද්ද කියලා ඔබතුමා වාගේ පරිණත දේශපාලනඥයෙක් මේක කළේ ඇයි කියලයි මම අහන්නෙ.

දේශපාලනයට ආවට පස්සෙ මේ තියෙන ක්‍රමය තුළ අපි අපේ දේශපාලන අංකය දැම්මෙ නැත්නම්, සමහරු අහනවා මොකක්ද ඇමතිතුමාගෙ අංකය... හුඟක් සල්ලි තියෙන අයට නම් පුළුවන් ටී. වී. එකේ දාන්න. මම කවදාවත් ටී. වී. එකේ දාන්නෙ නැහැ. නමුත් මේ තරගයෙන් පරදින්න බැහැනෙ. ඒ නිසා තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයක් එන අවස්ථාවේදී මේ මනාප ක්‍රමය නැතිකරලා පාර්ලිමේන්තුවට වගකියන කොට්ඨාස ඡන්ද ක්‍රමයට යන්න ඕන කියන මතය දැඩි ලෙස මම ගෙනියන්නේ මේ වගේ දේවල් නොවෙන්න. මම විතරක් නෙවෙයිනෙ තව කී දෙනෙක් ඔය විදියට ලියලා තියෙනවද?

* වි. ජ. මු. ලොකුබණ්ඩාර මහත්තයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා පෙරේරලා, ප්‍රනාන්දුලා, සිල්වලා ඌවෙ බලය අල්ලලා එක බණ්ඩෙක්වත් නෑ කියලා. මේ ගැන ඔබතුමාගෙ අදහස මොකක්ද?

එතුමා කල්පනා කළේ ඌව පළාතේ වැඩිපුර ඉන්නෙ උඩරැටියන් නිසා උඩරැටියන්ගේ ඡන්ද ලබාගැනීමට උඩරැටියෙක් ඉදිරිපත් කරන්න වෙන්න ඇති. නමුත් මම භාගයක් උඩරට, භාගයක් පහතරට. මගේ මව හෙන්නායක මුදියන්සේලාගේ නීලාවතී පොඩිමැණිකෙ. තාත්තා නිලෙත්ති අමානියෙල් ද සිල්වා. ගම අහුන්ගල්ල. මට මේ දෙපැත්ටම සම්බන්ධකම් තියෙනවා. අපි කවදාවත් උඩරට, පහතරට බේදයක් ඈදලා අරගෙන නැහැ. ඒ ගැන අපි කතා කරලා නැහැ. අපි ජාතිය, කුලය ගැන කතා කරලා නැහැ. මම හැමතිස්සෙම කිව්වෙ බදුල්ල දිස්ත්‍රික්කය කියලා කියන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ මේ සියලු ජාතීන් සමගියෙන් ජීවත්වන දිස්ත්‍රික්කයක්. අපි ඒ සමගිය රකින්න ඕ‍ෙන.

* ඩිලාන් පෙරේරා කියන දේශපාලනඥයා ගැන කෙටි හැඳින්වීමක් කරන්න.

ඩිලාන් කියන්නෙ බොහොම ජවසම්පන්න තරුණ දේශපාලනඥයෙක්. හැබැයි සමහර අවස්ථාවන්හිදී ටිකක් ඉක්මන් වැඩියි.

* මොකද පසුගිය කාලෙ පෞද්ගලික කුණු ගොඩක් ඇදගෙන, උඩ බලාගෙන කෙළ ගැහැව්වා වාගේ කාරණාවක් කර ගත්තෙ.

අපේ පක්ෂයේ දේශපාලනඥයන් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම නුසුදුසු බවයි මගේ හැඟීම.

* හැබැයි මිනිස්සු කියනවා මේ ඇදගත්ත කුණු ගොඩේ ප්‍රතිඵලයක් තමයි දෙන්නම තමන්ගෙ ආසන පරාද වුණ එක...

ඒක වැරදියි. විශේෂයෙන්ම බලන්න ඕන ඒ අවස්ථාවන්හිදී රටේ ඇතිවෙලා තියෙන දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව. ඒ වගේම ආසනවල තියෙන ඡන්ද සංයුතිය පිළිබඳ. කුමාර වෙල්ගම මහත්තයා වගේ කෙනෙක් සියයට අනූනවයක් සිංහල, බෞද්ධ ඡන්ද තියෙන අය, අහනවා ඇයි නිමල් සිරිපාලට බැරිවුණේ ආසනය දිනන්න. හැබැයි නිමල් සිරිපාල මනාප ඡන්ද එක්ලක්ෂ හතළිස් තුන්දහසක් අරගෙන තියෙනවා මේ මනාප ක්‍රමය යටතේ. නමුත් මුස්ලිම් ඡන්ද අටදාහක් තියෙන ද්‍රවිඩ ඡන්ද දහසයදාහක් තියෙන ආසනයක ඒ ඡන්ද සංයුතිය අනුව අපට ආසන මට්ටමෙන් ජයග්‍රහණය කිරීම අමාරුයි. එවැනි ප්‍රවණතාවයන් තියෙනවා. ඡන්ද සංයුතිය අනුව තමයි එය සිදුවෙන්නෙ.

* ඔබතුමා තාමත් විපක්ෂ නායක ද?

අනිවාර්යයෙන්ම.

* මේක වෙනස්කරන්න ඕන කියලා මතයක් ගොඩනැ‍ඟෙමින් තියෙනවාද?

වෙනස් කරන්න ඕන කියලා කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා.

* එතුමා නිශ්ශබ්ද වෙනවද?

නැහැ. එතුමා ඒ පිළිබඳ තීරණයක් ඉදිරියේදී දෙයි. එතුමා දෙන ඕන තීරණයක් මම පිළිගන්නවා. එතුමා දෙන තීන්දු පිළිබඳ කලින් පේන කියන්න ඕනෙ නැහැ. ඒක වැරදියි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව‍.

* දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විපක්ෂ නායක කරන්න ඕන කියලා පත්තරවල පොඩි පොඩි ප්‍රකාශ යනවා. හැබැයි ඒවා යන්නෙ නිකම් නෙවෙයි නේද?

එතුමාට අවශ්‍ය නම් විපක්ෂ නායකකම ගැනීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සුදුසුකම් තියෙනවා නම් ඒක කථානායකතුමා තීරණය කරයි. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.

* ඩිලාන් පෙරේරා මැතිතුමා කියනවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පිං අගමැති කෙනෙක් කියලා. මේ ප්‍රකාශය එතුමාගෙ තරුණකම නිසා කියපු ප්‍රකාශයක් ද, නැත්නම් අපරිණතකම නිසා කියපු ප්‍රකාශයක් ද?

නෑ... එතුමගෙ කතාව ඇත්ත. මොකද පිං අගමැති කෙනෙක් කියලා කියන්නෙ එතුමට අගමැතිකම පරණ පිනකට ලැබුණා. මොකද පරණ පිනකට ලැබුණා කියලා කියන්නෙ එතුමාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ අපට. එතුමාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව ජනාධිපතිතුමා එතුමා අගමැති බවට පත්කළා. මොකද වර්තමාන ජනාධිපතිතුමත් එතුමත් අතර ගහපු ගිවිසුම අනුව අපේ ජනාධිපතිතුමා පොරොන්දු වුණා එතුමාට අගමැතිකම දෙනවා කියලා.

* කවුද අපේ ජනාධිපතිතුමා කියන්නෙ?

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.

* මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ ජනාධිපතිතුමා කියන්නෙ කොහොමද ඔබතුමා වැඩ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටනේ?

එතුමා මේ රටේ ජනාධිපති බවට පත්වුණාම එතුමා සුද්දන්ගෙ ජනාධිපතිවරයෙක් ද? එතුමා එංගලන්තෙ ජනාධිපති ද?

අපේ ජනාධිපතිතුමා කියලා අදහස් කළේ රටේ ජනාධිපතිතුමාට. එතුමාට රටේ විතරක් නෙවෙයි පස්සේ අපේ පක්ෂයේ නායකත්වය බාරගත්තා. එතකොට එතුමා අපේ නායකයා. අපේ රටේ ජනාධිපති.

* අගමැතිතුමා පිං අගමැති කෙනෙක් නම් ඔබතුමා විපක්ෂ නායක වෙනකොටත් කවුරුහරි කිව්වොත් ඒකත් පිං විපක්ෂ නායකකමක් කියලා?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පරාජය පිළිබඳ විවිධ අය විවිධ දේවල් කියනවා. නමුත් ජනතා හදවත් තුළ, එතුමාට ඡන්ද හාරලක්ෂ අනූදාහක් වගේ ප්‍රමාණයක් වෙනසක් වීමට හේතුව මොකක්ද කියලා එක එක්කෙනා එක එක හේතු කියනවා. සමහර අය කියනවා මුස්ලිම් ඡන්ද හම්බවුණේ නැහැ. උතුරේ ද්‍රවිඩ ඡන්ද විශාල ප්‍රමාණයක් වැටුණා කියලා තවත් අය කියනවා. පවුල්වාදය නිසා මේක වුණා කියනවා. මේ විදියේ කාරණා රාශියක් කියනවා. මේක කම්පියුටර් එකකට දාලා මේකට හරියටම හේතුව මේක කියලා කාටවත් කියන්න බැහැනෙ.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කෙනාට තමයි අගමැතිකම ලැබෙන්න ඕන. නමුත් විපක්ෂයේ අපි ඒක අභියෝගයට ලක්කළේ නැහැ. ඒ නිසා තමයි ඩිලාන් පෙරේරා මහත්තයා කිව්වෙ පිං අගමැති කියලා. එතුමාට බහුතරයක් නැතිව එතන ඉන්න නිසා තමයි කිව්වෙ එතුමා පිනට ඉන්නවා කියලා.

* එතකොට තමයි අර ප්‍රශ්නෙ ආවෙ පිං අගමැතිගෙ ආණ්ඩුවේ දැන් ඇමතිකම් ගන්න ශ්‍රී ලංකා එක පෝලිමේ එනවා.

පිං අගමැතිගෙ ආණ්ඩුවේ නෙවෙයි.

* එහෙනම් කාගෙද?

මේ රජය ජනාධිපතිතුමාගෙ. එතුමා තමයි රාජ්‍ය නායකයා. ඇයි ඒක අමතක කරන්නෙ.

* ජී. ඉලේපෙරුම කියලා සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ඔබට හිටියා නේද? ඔහු බොහොම අපූරු ලියුමක් ඌවෙ ඡන්දෙ කාලෙදි විවිධ ආයතනවලට නිකුත් කරනවා.

ඒක අපි නිකුත් කරපු ලියුමක් නෙවෙයි. ඒක නිර්මාණය කරන ලද ලියුමක්. අපේ විරුද්ධවාදීන් විසින් නිර්මාණය කරන ලද ලියුමක්.

* ඒ ලියුමෙ සඳහන් වෙනවා “ඔබ ශාඛාවෙන් රැකියා ස්ථාන මාරු හෝ වෙනත් ප්‍රතිලාභ ලබා මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට සහභාගි වන අයගේ සහ එයට අමතරව එම පක්ෂ දෙකට ක්‍රියාකාරී ලෙස සහභාගි වන අයගේ නාමලේඛනය මේ කාර්යාලයට ලබාදෙන ලෙස, මාගේ ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඉල්ලා සිටිමි” මේක නිර්මාණය කළ ලියුමක් නම් නීතිඥයෙක් වශයෙන් ඇයි ඔබතුමා මේකට ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැත්තෙ.

ඔය වගේ ලියුමක් හදලා හැම තැනටම යැවිවහම අපට ඕවට නඩු පවර පවර ඉන්න මිනිස්සු හොය හොයා ඉන්න වෙලාවක් නැහැ. ඊට වඩා වැදගත් රාජකාරි වැඩකටයුතු රාශියක් අපට තියෙනවා. පත්තරවල තියෙන දේවල්වල හැටියට ඕවට නඩු කියන්න ගියොත් සිවිල් නීතිය යටතෙ අවුරුදු පහළොවක් විතර යනවා. හොඳම දේ තියෙන්නෙ මේවා නොසලකා හරින එකයි.

* පසුගිය මැතිවරණයේදී ඔබතුමාගෙ වගකීම වුණේ මොකක්ද?

2015 දී මගේ වගකීම වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම.

* ඔබතුමා කලින් එන්න ඉඳලා ආවෙ නෑ කියන එක කටකතාවක් ද? ඇත්තක් ද?

මට ආරාධනයක් ලැබුණා. විවිධ අය මට කිව්වා පොදු අපේක්ෂකයා වශයෙන් එන්න කියලා. නමුත් මම කිව්වා රජකම ලැබුණත් පක්ෂෙ දාලා යන්නෙ නැහැ කියලා. ඒක මගේ ප්‍රතිපත්තිය.

* පක්ෂය දාලා ගියා නම් ආයෙත් පක්ෂෙ සභාපති වෙන්න තිබුණනේ. පක්ෂය දාලා ගිය කෙනා දැන් පක්ෂයේ සභාපතිනෙ.

නමුත් මම එහෙම කරන්නෙ නැහැ. මම ශ්‍රීලනිපයේ බිහිවුණ ගමේ කෙනෙක්.

* ඔබතුමාට තිබුණනේ ජනාධිපතිවරයා වෙලා, පක්ෂෙ නායකයා වෙලා එන්න.

මම එහෙම කවදාවත් හිතුවෙ නැහැ. ජනාධිපතිවරයා වෙන්න පුළුවන් කියලා මම හිතුවෙ නැහැ.

* අගමැති සිහිනෙ තිබුණෙ ඔබතුමාට ජනාධිපති හීනෙ ලැබුණා නම් කරනවනේ...

දේශපාලනයට එන කවුරුත් කැමතියි තමන් ඉන්න තත්ත්වයෙන් ඉහළට යන්න. එහෙම කියලා කාලාන්තරයක් තිස්සේ මම ආදරය කරපු පක්ෂය දාලා මම ඒ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන වෙලාවෙදි මම කල්පනා කළා ඒක කිසිසේත්ම සුදුසු නැහැ. එතුමාට සහයෝගය දීලා ඉන්න කියලා තමයි මම කල්පනා කළේ. අදත් මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක ඉන්නෙ එතුමා අපේ පක්ෂයේ සභාපති.

සිරිමාවො මැතිනිය ඉන්දෙද්දී මම එතුමිය වෙනුවෙන් දරදිය ඇද්දා. මම නිතරම පක්ෂය හා පක්ෂ නායකත්වය එක්ක නොසැලී හිටපු කෙනෙක්. මම කියන්නෙ නැහැ ඒ පක්ෂ නායකයන් තුළ අඩුපාඩු නොතිබුණා කියලා. නමුත් මම ඒවා විඳදරාගෙන හිටපු කෙනෙක්. ඒක තමයි මගේ දේශපාලනයේ ස්වභාවය.

• ගිරාඳුරුකෝට්ටේ සත්ව ගොවිප‍ළේ ඉඩම්වලින් අක්කර දහය බැගින් දහ දෙනෙකුට ඉස්තරම් තණකොළ වර්ගයක් වවන්න කියලා ඉඩම් බෙදා දීපු තොරතුරක් සත්‍යාගාරයට ලැබිලා තියෙනවා. මේවායින් සමහරක් අතයට ගනුදෙනු කියලත් චෝදනා නැ‍ඟෙනවා. ඔබ ඇමැතිවරයා කාලේ දී මේ දේවල් සිදුවුණ නිසා ඔබ මේ ගැන දැනුවත් ද?

මහවැලි ඉඩම් පිළිබඳව යම් යම් අයට ඉඩම් ලබාදීමේ ක්‍රමවේදයන් තියෙනවා. යම් කෙනෙක් සංවර්ධනය සඳහා ඉඩම් අවශ්‍ය නම් මහවැලි අධිකාරියෙන් ඉල්ලුවම ඒකට විශේෂ කමිටුවක් තියෙනවා. ඒ විශේෂ කමිටුව මඟින් ඔවුන්ගේ තියෙන මුදල් තත්ත්වය, ඔවුන්ගේ තියෙන හැකියාවන්, ඔවුන්ගේ ව්‍යාපෘතිය ඒ ව්‍යාපෘති වාර්තා ඔක්කොම සමස්තයක් වශයෙන් සලකල බලලා ඒ කමිටුවෙන් තමයි මේවා අනුමත කරන්නේ. එහෙම අනුමත කෙරුවායින් පස්සේ මා ළඟට එන්නේ අවසානයේ දී. අමාත්‍යවරයා වශයෙන් ඒ ලිපිගොනුව මා ළඟට එවලා ඒක අත්සන් කරලා යවනවා ජනාධිපති කාර්යාලයට. එහෙම නැතිව මට ඕන ඕන විදියට ඉඩම් දෙන්න පුළුවන් කමක් නැහැ.

* ඔබ ඉතා යහපත් කාර්යයක් කරනවා ඌවෙ දහසය දහසක් වගේ ප්‍රමාණයකට රැකියා ලබා දීලා. මේක මම හිතන්නේ ඌව පළාතේ කිසිම දේශපාලනඥයකු නොකරපු දෙයක්. ඒ කාර්යය ගෞරවයට හේතුවක්. ඔබ නොදැනුවත්ව අර නියෝජිතයෝ මුදල් ගත් බවක් අපි දන්නවා. ඔබට මේ ගැන වගකීමක් නැතිවෙන්න පුළුවන්...

මගේ නියෝජිතයෝ කියලා කණ්ඩායමක් හිටියෙ නැහැ. බොහෝ විට මම පුළුවන් තරම් රැකියා දුන්නා. මම ඇත්ත කියන්න ඕන. ඌව පළාතට මේ වගේ ප්‍රබල අමාත්‍යාංශයක් ලැබුණ වෙලාවේ මම බදුල්ල දිස්ත්‍රික්කයේ අයට උදව් කළා.

* නිමල් සිරිපාල ද සිල්වා නමින් පදනමක් තිබෙනවාද? ඒ පදනමේ කාර්ය බාරය කුමක්ද?

නිමල් සිරිපාල ද සිල්වා කියලා පදනමක් තියෙනවා. එහි කාර්යය භාරය විශ්වවිද්‍යාලවලට බදුල්ල දිස්ත්‍රික්කයෙන් එන ළමයින්ට ශබ්ද කෝෂ ලබාදීම, ඒ අයට උදව් කිරීම, සමහර අය බෙහෙත් ද්‍රව්‍ය ලබාගැනීම වගේ විවිධ ආධාර ඉල්ලගෙන එන අයට අප උදව් දෙනවා.

* ඔබ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙක්. ස්විට්සර්ලන්තයේ ග්ලෝබල් ෆන්ඩ් කියලා ආයතනයක් ගැන ඔබතුමා අහල තියෙනවද?

ඔව්.

* ඒ ආයතනය රුපියල් මිලියන දෙදහස් දෙසීයක් දුන්නා 2006 දී HIV සහ ඒඩ්ස් මර්දන වැඩසටහනකට. ඔබතුමාට මතකයක් තියෙනවද ඒ ගැන.

ග්ලෝබල් ෆන්ඩ් එකෙන් HIV පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ HIV අංශයට ආධාර ලබා දුන්නා. ඒක ඒ අංශයට ලබාදුන්න ආධාරයක්.

* ලංකා හෙල්ත් ඔන් ලයින් සමාගම මේකට 2003.04.05 මැදිහත් වුණා.

මම එහෙම එකක් දන්නේ නැහැ.

* ඔවුන්ගේ කොමිස් මුදල පමණක් 3%ක්. මේක මුළු මුදලින් ගත්තම ලොකු මුදලක්. එතකොට ඔබ ඇමැති.

මොකක්ද කොමිස් මුදල කියන්නේ.

* ලංකා හෙල්ත් ඔන් ලයින් සමාගම තමයි මේකට අතරමැදියා වන්නේ.

අපි දන්නෑ අතරමැදියෝ ගැන. ග්ලෝබල් ෆන්ඩ් කියල කියන්නෙ ලෝක බැංකුව හා ඒ ආයතන සමඟ සම්බන්ධ අරමුදලක්. ඒ අරමුදලින් කාටවත් කොමිස් දෙන්නෙ නැහැ. ඒ අරමුදල කෙළින්ම රජය එක්ක ගනුදෙනු කරන්නේ.

* ඔබ පෞද්ගලික සංචාර යද්දී නිතරම එක්කගෙන ගිය යාළුවෙක් ඉන්නවද ?

සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීම් වලට යනකොට ‍අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හරි වෙන කවුරුහරි කට්ටියව එක්කගෙන යනවා.

* අමරරත්න අමරපති මහත්මයා ඔබතුමාගෙ මිතුරෙක්ද?

ඔව්.

* ඔහු සමඟ මොනවගේ රටවල්වලටද ගිහින් තියෙන්නේ.

ඔහු සමඟ එකවරක් මම ඉන්දියාවේ තිරුපති වලට ගියා. එපමණයි. ඒ ඇරෙන්න මම වෙන කොහේවත් ගිහිල්ලා නැහැ.

* ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව අතර පලාව් කියලා දූපතක් තියෙනවා. ඒ දූපතේ සංචාරය කරන්න අමරරත්න අමරපති මහත්තයා එක්ක ගියාද?

අමූලික බොරුවක්. 1988 මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉන්න කාලේ වීරපුතා කියලා හෝමාගම හිටියා ව්‍යාපාරිකයෙක්. මම එතුමාගේ නීතිඥයා. එතුමාට ඕනවුනා ගාමන්ට් ෆැක්ටරියක් හදන්න පලාව් දූපතේ. ඒ අවස්ථාවෙදි මම, එතුමා, ඒ වගේම දක්ෂිත කල්ගොඩපිටිය මහත්මයා අපි තුන්දෙනා පලාව් දූපතට ගියා එතුමත් එක්ක. එතකොට මම ඇමැතිවරයෙකුත් නෙවෙයි. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. අමූලික බොරුනේ ඔබතුමාට මේ එවල තියෙන්නේ.

* අයථා ලෙස මුදල් උපයාගන්නා මැති ඇමැතිවරු ස්විස් බැංකුවල මුදල් තැන්පත්කරනව කියලා කතාවක් තියෙනවා. මැක්රොෂිනියා බැංකුවක ඔබේ මුදල් තැන්පත් කර තිබෙනවාද ? චෝදනාව බොරුද?

අමූලික බොරුවක්

* ඌව පළාත් සභා මැතිවරණයේදී ඔබ ආසනය පැරද්දුවාද? එහෙමත් නැතිනම් කුමන බලවේගයක් විසින් හෝ පැරැද්දුවාද?

පළාත් සභා ඡන්දය වෙලාවෙදි ඒ පරාජයට හේතුකාරණා කිහිපයක් තිබුණා. එකක් තමයි බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව අතර යම් ඉල්ලීමක් තිබුණා මහාමාත්‍යතුමා බදුල්ලෙන් විය යුතුයි කියන ඉල්ලීම. ඒ වගේ කාරණා රාශියක් තිබුණා. ඒ ‍වගේම කියන්න ඕන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ආකර්ෂණීය මන්ත්‍රීවරයෙක් බවට පත්වුණා.

* ඔබතුමා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයට උදව් කළා කියලා ඒ දිනවල පත්තරවල තිබුණා.

අපි දේශපාලන වෛරක්කාරයෝ නෙවෙයි. දේශපාලනයේදී අපි අපේ පක්ෂයේ දේශපාලනඥයෙක් ඇරෙන්න වෙන කාටවත් උදව් කරලා නැහැ. අපේ පක්ෂයේ දේශපාලනඥයෝ දන්නවා දේශපාලනයේ බර ඇද්දේ මම කියලා.

* ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය ධූරයෙන් ඉවත්කරන ප්‍රශ්නයේදී මම දන්නා තරමට ඔබතුමා හිටියේ එතුමියගෙ පැත්තේ.

කිසිම පැත්තක් තිබුණෙ නැහැ මට. පාර්ලිමේන්තු කමිටුවක් තිබුණා. ඒ කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් මම වැඩ කටයුතු කළා. එච්චරයි.

* ශිරානි බණ්ඩාරනායක මැතිනිය ධූරයෙන් ඉවත්කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබේ පෞද්ගලික අදහස මොකක්ද?

ඒ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේදී සිදුවුණ ක්‍රියාවලියක්. පාර්ලිමේන්තුවේ සිදුවෙච්ච ක්‍රියාවලියක් නිසා එහි සාමාජිකයෙකු වශයෙන් මට පෞද්ගලික කාරණා කියන්න පුළුවන් කමක් නැහැ.

* මැති ඇමැතිවරු බයවෙන්නේ ‍පුද්ගලයාටද? නැතිනම් මේ විධායක ජනපති ක්‍රමයේ තියෙන සාහසික බලතලවලටද?

ජනපතික්‍රමයේ බලතල තුළ සමහර වෙලාවට මැතිඇමැතිවරුන්ට ස්වාධීනත්වයෙන් වැඩකටයුතු කිරීමට අවස්ථාවක් නැහැ. ඒක අපි කවුරුත් දන්නවා. ජේ.ආර්.ජයවර්ධන මහත්තයා යටතේ ඒක තිබුණෙත් නැහැ. අනෙත් අ‍ය යටතෙ තිබුණෙත් නැහැ. ඒක විධායක ජනාධිපති ධුරයේ ස්වභාවය. ඒක නිසානෙ අපි දැන් ඒක නැතිකරන්න යන්නෙ. අහෝසි කරන්න යන්නෙ.

* දින සියයේ වැඩපිළිවෙළට එකඟවෙන්නේ දින සියය කියවලානෙ...

මේක දින සියය එක්ක පටලවගන්න එපා. විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට, මේ රටට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් සඳහා උපකාර කරන්නට ශ්‍රීලනිපය තීන්දු කරල තියෙනවා. ඒ තීන්දුව අනුව අපි කටයුතු කරනවා.

* පවතින ආණ්ඩු ජාතික ආණ්ඩුව, හවුල් ආණ්ඩුවක් කියලා විවිධ නිර්වචන තිබෙනවා. ඒ ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න කලින් ශ්‍රීලනිපය කියනවා අපි ඡන්දය දෙන්නෙ නැහැ කියලා. මේක ජාතික කාර්යයක් නම් අල්ලස් හැටියට ශ්‍රීලනිපය ඇමැතිකම් ඉල්ලන එක සාධාරණද?

ශ්‍රීලනිපයේ කවුරුත් ඇමැතිකම් ඉල්ලුවේ නැහැ. ජනාධිපතිතුමා ශ්‍රීලනිපයෙ අයට කිව්වා මේවා ගන්න කියලා. මේවා අපට දුන්නා මිසක් අපි ඉල්ලලා ගත්තෙ නැහැ. අපි පැහැදිලිවම මුල් දවසෙ ඉඳලම දින සියයේ වැඩපිළිවෙළ සඳහා අය වැය ලේඛන ගේන වෙලාවෙදි මම විපක්ෂ නායකයා වශයෙන් ප්‍රකාශ කළා අපි මේ අය වැය ලේඛනයට සහයෝගය දෙනවා කියලා. මේ දින සියයේ වැඩපිළිවෙළට අපට සහය නොදී ඉන්න තිබුණා. අපට ඡන්ද එකසිය විස්සක් තිබුණා.

* ඒකට ඇමැතිකම් ඕන වූණාද කියලයි මම ඇහුවෙ.

අපට ඇමැතිකම් ඕන නැහැ. දැන් උනත් ඇමැතිකම් අයින් කරනවා නම් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඇමැතිකම් ගන්න ඡන්දෙ දුන්නෙ නැහැ අපි. අපි පැහැදිලිව කියල තියෙනවා මේ ව්‍යවස්ථා සංශෝධනයට අපි එකඟවෙන්නෙ නව මැතිවරණ ක්‍රමයක් එක්ක එන්න ඕනෙ.

* රිචඩ් ද සොයිසා ඝාතනය වෙනුවෙන් ඔබ විශාල හඬක් නැඟුවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී, ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයේදී ඇයි ඔබ ඒ හඬ නැඟුවෙ නැත්තෙ.

විපක්ෂයේ කාර්යභාරය අපි ඉෂ්ට කලා. ඒ පිළිබඳව විවාදයක් අපට නැහැ.

* ඒ කියන්නෙ ඔබතුමා අදහස් ප්‍රකාශකරන්නෙ විවාදයක් ආ‍වොත් විතරයි.

අනිවාර්යයෙන්ම.

* ඔබතුමාට දැන් පුළුවන් ඒ පිළිබඳ අදහස් දක්වන්න.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි එක්නැලිගොඩ ඝාතනයයි ගැන ඔච්චර හෝද හෝද මඩේ දදා ඉන්න ඕන නැහැනෙ. මේ රජයට පුළුවන්නෙ ඒ පිළිබඳ පරීක්ෂණ කරල ඝාතකයින්ව අධිකරණය ඉදිරියට ගේන්න. ඇයි ගේන්නෙ නැත්තෙ කියල අපි අහන්නෙ.

* නිමල් සිරිපාල ද සිල්වා කියන දේශපාලකයාගේ අනාගතය තියෙන්නෙ කාලයක් ඔවුන් වන්දනාමාන කළ මහින්ද රාජපක්ෂ අතේ ද? පරාජය කරන්න හැදුවත් නොසිතූ ලෙස ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අතේ ද? අවුරුදු ගණනක් අපහාස උපහාස දමා ගැසූ රනිල් වික්‍රමසිංහ මහත්තයා අතේද?

ඔය කවුරුත් අතේ නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතේ. පුද්ගලයෙක් එක්ක මම දේශපාලනය කරන්නෙ නැහැ. මම දේශපාලනය කරන්නෙ පක්ෂයත් එක්ක.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා