නීතිය හෑල්ලු විය යුතු නෑ

නීතිය හෑල්ලු විය යුතු නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවකින් අද මේ තීරුව ආරම්භ කරන්නට කැමැත්තෙමු. පුවත්පත්වල පළවූ එම කතාවෙන් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ තමන්ගේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් සංවර්ධන කටයුතුවල යෙදෙන අතර යම් දූෂිත ක්‍රියාවල ද යෙදෙන්නට ඇති බව ය. එම අවස්ථාවල දී නිහඬ ව සිටීමේ විපාක අද තමන් අත්විඳිමින් සිටින බව ද හිටපු ජනාධිපතිවරයා කියා තිබේ. මේ කතාවෙන් කරුණු දෙකක් ගම්‍ය වේ. එක; ගිය ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් දූෂිත ක්‍රියාවල යෙදුණු බව මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බව ය. දෙක ඒ බව දැන - දැන ම හිටපු ජනාධිපතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බව ය.

බැසිල් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයකු වන අතර ගිය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකි. ඔහු පක්ෂයේ බලය ද, ආණ්ඩුවේ බලය ද සියතට ගනිමින් හිතුවක්කාරී ලෙස ක්‍රියා කළ තැනැත්තකු හැටියට චෝදනා ලැබ සිටී. බැසිල් නිසා පක්ෂය තුළ ගැටුම් ඇති විය. ආණ්ඩුව තුළ ද ගැටුම් ඇති විය. ජනාධිපතිවරණයෙන් පසු ඔහුට එරෙහිව නැ‍ඟෙන චෝදනා වඩාත් බරපතළ විය. ‍බැසිල් නිසා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට ‍පත් වූයේ යැයි මහජන මතයක් තිබේ. බැසිල් නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික ශ්‍රීලනිප ඡන්ද මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පාවිච්චි වූයේ යැයි මහජන මතයක් ද තිබේ.

මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවේ පසුවෙයි. ඔහුට එරෙහි ව නැඟී ඇති චෝදනාව වන්නේ දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මහජන මුදල් අයථා ලෙස භාවිත කර ඇති බව ය. බැසිල් රාජපක්ෂ මහතා සමඟ තවත් දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවෙති. දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන් කෙනෙකි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඉන් තවත් කෙනෙකි. ප්‍රධාන චෝදනා තුනක් ඔවුන් වෙත එල්ල වී තිබේ. එක; රුපියල් දසලක්ෂ 132 ක මුදලක් භාණ්ඩාගාරය නිකුත් කිරීමට පෙර එම දෙපාර්තමේන්තුවේ සේවකයන් වෙත පාරිතෝෂිත දීමනා ලෙස ලබාදීම ය. දෙක; එම දෙපාර්තමේන්තුවේ මුදල් වැය කරමින් මැතිවරණ සමයේ ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කිරීම ය. තුන; රජයේ ක්‍රියාවලියට පරිබාහිරව විශේෂ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ය.

භාණ්ඩාගාරය සතු මුදල් සැලැකිය හැක්කේ මහජන මුදල් ලෙස ය. මහජනයා සතු මුදල් භාවිත කළ හැකි පිළිගත් මූල්‍ය ක්‍රමයක් හා සම්ප්‍රදායක් තිබේ. විශේෂයෙන් කිසියම් පක්ෂයක හෝ කිසියම් පුද්ගලයකුගේ හෝ මැතිවරණ ජයග්‍රහණයක් සඳහා භාණ්ඩාගාරය සතු මුදල් යොදවා ගැනීම බරපතළ මූල්‍ය අපරාධයෙකි. දිවි නැඟුම දෙපාර්තමේන්තුවට ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කිරීමට අවශ්‍ය වන්නේ මන් ද? එය දිළිඳුකම පිටුදැකීමට අවශ්‍ය කාරණයක් ද? මැතිවරණ සමයක පිළිගත් මුදල් රෙගුලාසිවලට පටහැනි ලෙස ආයතනයක සේවකයන් සඳහා පාරිතෝෂිත දීමනා ලබා දෙන්නේ කෙසේ ද? යන ප්‍රශ්නවලට හා තවත් ප්‍රශ්න ගණනාවකට චුදිතයන් වගඋත්තර බැඳිය යුතු ව තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා සහ අනෙකුත් චුදිතයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ද; ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ද නීතියට අනුව පිළිගත් සම්ප්‍රදායයන් අනුගමනය කිරීමෙන් ය. එබැවින් මෙය දේශපාලන පළිගැනීමක් ලෙස හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය අපහසුවකට පත්කිරීමක් ලෙස හෝ අර්ථකථනය කිරීම වැරැදි ය.

දූෂණ හා වංචා නැති කොට රට තුළ යහ පාලනයක් ස්ථාපිත කිරීම මහජනයා මේ ආණ්ඩුවෙන් අපේක්ෂා කරන ප්‍රධාන කාරණයකි. එය පමාවෙමින් හෝ ඉටු වෙමින් තිබීම ගැන මහජන ප්‍රසාදයක් තිබේ. රුපියල් පන්සියයක හෝ රුපියල් දහසක හෝ අල්ලසක් ලබාගන්නා අහිංසක නිලධාරීන් හෙවත් පුංචි මිනිසුන් නීතියේ රැහැනට ගැනීමට බලවත් සේ උනන්දු වන බලධාරීන් රුපියල් කෝටි ගණනින් ගසා කෑ දූෂිතයන් අත්අඩංගුවට ගැනීමට මැළිකමක් දක්වන්නේ යැයි චෝදනාවක් ආණ්ඩුවට තිබිණි. හාල්මැස්සන් අල්ලනවා; තෝරු -මෝරු ගැලවෙනවා යන ලෙසින් එය මහජනයා අර්ථ දක්වා තිබිණි. එහෙත් මේ වන විට ආණ්ඩුව එම චෝදනාවෙන් බොහෝ දුරට ම නිදහස් වී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු ක්‍රියා කොට ඇත්තේ ද සැකයක් මතු වන ආකාරයෙන් ය. ජනාධිපතිවරණය පවත්වන්නේ පසුගිය ජනවාරි අටවනදා ය. ප්‍රතිඵල නිකුත් වන්නේ ජනවාරි නමය වන දා ය. ඊට පසුදා සිට බැසිල් රාජපක්ෂ මහතා ර‍ටේ නැත. ඔහු සිය බිරිය ද කැටුව වහාම අමෙරිකාව බලා ගියෝ ය. මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් විය. එම පරාජයේ පසුවිපරම සිදු කිරීමටවත් බැසිල් මහතා රටේ සිටියේ නැත. ඊළඟට ඔහුට එරෙහි ව මූල්‍ය චෝදනා ඉදිරිපත් වන විට බැසිල් මහතා නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ය. ඔහු නැවත ශ්‍රී ලංකාවට එන්නේ පෙරේදා ය. ඒ මේ චෝදනාවලින් ගැලවී යා හැකි වෙනත් මඟක් නැති නිසා යැයි සිතිය හැකි ය.

බැසිල් රාජපක්ෂ මහතාට පමණක් නො ව; ඔහුගේ සහෝදරයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ද යම් - යම් චෝදනා තිබේ. ඔහු අල්ලස් කොමිසම හමුවට කැඳවූයේ ද එම හේතුව නිසා ය. එහෙත් දේශපාලන උද්ඝෝෂණයකින් පසු අල්ලස් කොමිසම මහින්ද රාජපක්ෂ මහතා වෙත පැමිණීමට තීන්දු කර තිබේ. කිසිදු බලවතකු ඉදිරියේ නීතිය හෑල්ලු විය යුතු නැත. නීතිය සියල්ලනට ඉහළින් පැවැතිය යුතු ය. මේ පරීක්ෂණවලට මෙන් ම නඩු විභාගවලට ද දේශපාලන බලපෑම් එල්ල වන්නේ නම්; ඒවා මැඬපැවැත්විය යුතු ය. එසේ නො වන තාක් යහ පාලනයක් උදාවන්නේ නැත. ආණ්ඩුව මතක තබාගතයුතු පළමු කාරණය වන්නේ ජනතාවගේ ප්‍රථම අපේක්ෂාව යහ පාලනය බව ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා