නියෝගයක් තිබිය දී අල්ලස් කොමිසම ඉදිරිපිට උද‍්ඝෝෂණ පැවැත්වීම අධිකරණයට අපහාස කිරීමක්

නියෝගයක් තිබිය දී අල්ලස් කොමිසම ඉදිරිපිට උද‍්ඝෝෂණ පැවැත්වීම අධිකරණයට අපහාස කිරීමක්

හෙළ බොදු සවිය කියයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට උද‍්ඝෝෂණයක් පැවැත්වීම තහනම් කරමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබිය දී ඊයේ (24) යම් පිරිසක් එම ස්ථානයේ උද්ඝෝෂණ පැවැත්වීම අධිකරණයට අපහාස කිරීමක් බව හෙළ බොදු සවිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ‍එම පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස එම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. සංගමයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ. අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ කිරීමට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ වාරණ නියෝගයක් ලබා දී ඇත. එය මෙරට සියලුම ප්‍රධාන මාධ්‍යවල පළ කර තිබිණි. නීතිඥවරයෙක් නායකත්වය දරන එක්තරා දේශපාලන කල්ලියක් විසින් අද දින කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලද්දේ අධිකරණ තීන්දුව තඹ දොයිතුවකටවත් ගණන් නොගෙනය.

මෙම සිදුවීම ගරු අධිකරණය විසින් දෙන නියෝග අවතක්සේරු කිරීමකි. එමෙන්ම එම තීරණ වලට අවනත නොවීම සහ එය සාමාන්‍ය ජනතාව අධිකරණ තීන්දු වලින් ඈත් කිරීමයි.

මෙවැනි සිදුවීම් සිදු නොවිය යුතු අතර එවැන්නක් සිදුවීම සමස්ත ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයකි. නීතිය ස්ථාපිත වී ඇති රටක නීතියට එරෙහිව අධිකරණයට අපහාස කිරීම දණ්ඩනීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සමඟ කියවෙන අනෙකුත් අණපනත්වලට පටහැනි ක්‍රියාවකි. එමෙන්ම ඊට එරෙහිව ක්‍රියාත්මක විය යුතු හා නීතිය ස්ථාපිත කිරීමට බැඳී සිටින සියලුම ආයතන මේ සම්බන්ධයෙන් ඉක්මන් හා කඩිනම් පියවර ගත යුතු බව අප අවධාරණය කරමු.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා