විපක්ෂයේ මන්ත්‍රීවරු පාපිස්සට බැස්සවීමට ආණ්ඩුවට හැකිවුණා

විපක්ෂයේ මන්ත්‍රීවරු පාපිස්සට බැස්සවීමට ආණ්ඩුවට හැකිවුණා

මෙ‍තෙක් කල් ජනතාව ගැන අමතක කර පාර්ලිමේන්තුවට පයින් ගැසු විපක්ෂයේ මන්ත්‍රීවරු පාපිස්සට බස්සවා බිම නිදි කරවීමට 19 වැනි සංශෝධනය තුළින් ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනවාරි 8දා මහින්ද රාජපක්ෂ පරාජය කර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කළ අයුරින් ඉදිරි මහ මැතිවරණයේ දී රාජපක්ෂ අතු ගා දමා අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයට හැකි බව ද අගමැතිවරයා කීය.

අරලියගහ මන්දිරයේ දී ඊයේ(23) පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ආසන සංවිධායකවරුන් සහ පක්ෂ ක්‍රියාකාරින් හමුව අමතමින් අගමැතිවරයා එසේ කීය. එක්සත් ජාතික පක්ෂය පමණක් නොව මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමට කැප වූ සියලුම බලවේග සමගින් ඉදිරියට ගොස් බිම නිදා ගත්තවුන් පාපිස්සෙනුත් අතු ගා දමමු යැයිද අගමැතිවරයා කීය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක් වන්නැයි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව කී අගමැතිවරයා ජනවාරි 8 දා ලැබු ජයග්‍රහණය ආරක්ෂා කිරීමට අප සැම එක් විය යුතු යැයි ද ඒ සඳහා මෙම 27 දා පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වෙන උද්ඝොෂණයට සහ මැයි 1දා මැයි දින රැලියට එක් වී ජන බලය පෙන්වමු යැයිද ඉල්ලා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා