හේතුව පැහැදිලි නොමැති නිසා ප්‍රකාශයක් ලබා දිය නොහැකියි

හේතුව පැහැදිලි නොමැති නිසා ප්‍රකාශයක් ලබා දිය නොහැකියි

හිටපු ජනාධිපති අල්ලස් කොමිසමට කියයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට තමාගෙන් කරුණු පැහැදිලි කරගැනීමට අවශ්‍ය කුමන කාරණයක් නිසාද යන්න පැහැදිලි ‍නොමැති නිසා ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා දිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසමට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට ඇමැති ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගත යුතු බවට කෙරුණු දැනුම් දීමට පිළිතුරු වශයෙන් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ජගත් බාලපටබැඳි මහතා වෙත ඊයේ (23) ලිපියක් යවමින් මේ බව දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණයට දින නියම වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට ඇමැති ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අද (24) දින එහි පැමිණෙන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබිණි.

තිස්ස අත්තනායක මහතාට කැබිනට් ඇමැති ධුරයක් ලබා දීමට තමා කටයුතු කළේ කැබිනට් මණ්ඩලයේ ඇතිව තිබූ පුරප්පාඩුවක් පිරවීමට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තමා හට ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල සහ සිය සාමාන්‍ය නිල රාජකාරී තත්ත්වයන් යටතේ බවත් රාජක්ෂ මහතා එම ලිපිය මඟින් කියයි.

ඒ සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අදහස් කර ඇත්තේ කුමන කාරණා සම්බන්ධයෙන් ද යන්න පැහැදිලි නැති බව පවසන රාජපක්ෂ මහතා එම පැමිණිල්ලේ මූලාශ්‍රය හා අඩංගු කරුණු මොනවාද යන්න මෙන්ම ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ ස්වභාවය ගැනත් දැනගැනීමට තමාට අයිතියක් ඇති බවත් පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා