සැකපිට ගත් 4න් 3ක් රිමාන්ඩ්

පාණදුරේ එස්. අයි. ඝාතනය:

සැකපිට ගත් 4න් 3ක් රිමාන්ඩ්

පාණදුරේ බෙක්කේගම සිය නිවසේදී ඝාතනයට ලක් වූ බණ්ඩාරගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක රූබන් විජේපාල පලිහවඩන මහතාගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගත් හතරදෙනා‍ෙගන් සැකකාරියන් 2ක් හා තවත් අයකු ලබන මස 5 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස පාණදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (23) නියෝග කළේය.

සිද්ධියට අදාළ හතරවන සැකකරු වන පාලින්ද දාබරේ නමැති අය රඳවා තබා ගෙන වැඩිදුර විමර්ශන පැවැත්වීමට මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර දුන්නේය.

අධිකරණය වෙත ඊයේ (23) ඉදිරිපත් කළ මේ සැකකරුවන් අතරින් රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය වන තුප්පහිගේ දෝන රත්නා රන්ජනී, ඇය‍ෙග් ඥාතිවරියක වූ පොහොද්දිවෙල මාරගේ චන්ද්‍රාවතී හා මස් වෙළෙඳ සලක හිමිකරුවකු වූ ඉන්දික බස්නායක යන තිදෙනා ය.

පළමුවන සැකකාරිය ‍ෙහවත් ඝාතනයට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත් වැලිවත්ත මහතා තවදුරටත් රහස් පොලිසියට නියම කළේය.

රහස් පොලිසියේ ස්ථානාධිපති ගීතික බෝධිපාල මහතා සමඟ සැකකරුවන් 4 දෙනා ඊයේ (23) අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අපරාධය පිළිබඳ විමර්ශනයේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ නියෝගය මත මේ විමර්ශනය රහස් පොලිසියට පැවරූ බව කී ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා තවදුරටත් කරුණු දක්වමින් මෙසේ ද කීය.

අදාළ ඝාතනය ගැන ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත්තේ මරණයට පත් වූ පොලිස් නිලධාරියාගේ බිරිඳ වූ රත්නා රංජනී නැමැත්තියයි. පසුව ඇගේ ඥාතියෙකු වූ චන්ද්‍රාවතී නමැත්තිය හා කුකුළු මස් කඩේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළා. දුරකථන අංක අනුව ඝාතකයා සැඟවී සිටින මන්නාරමේ සිලාවතුර ප්‍රදේශයේ පරීක්ෂා කර පාලින්ද දාබරේ නමැත්තා අත්අඩංගුවට ගත්තා. ඝාතනයට උපයෝගි කර ගත්ත පිහිය පාණදුර පොලිසිය සොයා ගත්තා. මෙම පිහිය බෙල්ලන්තර කම්හලකින් සාදාගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් 1500ක් ගෙවා තිබෙනවා. උප පොලිස් පරීක්ෂකවරයාගේ ආහාර වේලට මත් පෙති කුඩු කර දමා දී තිබෙනවා.

ඝාතනයට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ සහ ඥාති කාන්තාව සාකච්ඡාවක් කර මෙම ඝාතනය සිදු කිරීම සඳහා තුන්වැනි සැකකරු වූ ඉන්දික බස්නායක නමැත්තාට රුපියල් ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවක් දී තිබෙනවා. ඔහු කුකුල් මස් කඩේ සේවකයකු වූ පාලින්ද දාබරේ නමැත්තාට ඝාතනය කිරීමට භාර දී රුපියල් පන්දාහක් දී තිබෙනවා. ඝාතනය සිදුකළාට පසුව ඉතිරි මුදල ගෙවීමට පොරොන්දු වී තිබෙනවා. ඔහු ඝාතනය පසුගිය 15 දින සිදුකර මන්නාරම සිලාවතුර ප්‍රදේශයට ගොස් සැඟවී සිටියා. ඔහුට ඝාතනයේ ඉතිරි මුදල දෙන්නට එන්න යැයි කියා තුන් වැනි සැකකරුවා පණිවුඩයක් දුන්නා. ඔහු ඒ අනුව ඉතිරි මුදල ලබා ගන්නට එන විට අල්ලා ගත්තා. මෙම ඝාතනය ඉතා සංවිධනාාත්මකව සිදුකර තිබෙන බව පරීක්ෂණයේ දී අනාවරණය වුණා.

සැකකාරියන් දෙදෙනා සහ සැකකරුවන් දෙදෙනාද පානදුර රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර 30/04/15 දින අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගත්තා.

තමාට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව තුන්වැනි සැකකරුවූ ඉන්දික බස්නායක අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම ලබන 5 වැනි දිනට කරන ලෙස මහේස්ත්‍රාත් වැලිවත්ත මහතා තවදුරටත් නියම කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා