ඉදිරි මහ මැතිවරණය නව ක්‍රමයට

ඉදිරි මහ මැතිවරණය නව ක්‍රමයට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

යෝජිත නව මැතිවරණ ක්‍රමය අනුව පත්වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 238 ක් විය යුතු බවට ජාතික විධායක සභාව එකඟත්වය පළ කළ බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසුව බවත්, ඒ අනුව සියලුදෙනාට ම එකඟ විය හැකි ක්‍රමයක් සකස් කිරීම රජයේ අපේක්ෂාව බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ජාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන් ද ඇතුළත් වන පරිදි මේ සංඛ්‍යාව සකස් කෙරෙනු ඇත.

කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (23) පැවැති

කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. දැනට ක්‍රියාත්මක මනාප ඡන්ද ක්‍රමය මෙරට මැතිවරණ ක්‍රමයෙන් ඉවත් කොට සෑම මැතිවරණ කොට්ඨාසයක් හෝ ආසනයක් වෙනුවෙන් ඍජුව මන්ත්‍රීවරයකු තේරී පත්වන අන්දමින් ඒ ඒ පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව සහ මන්ත්‍රීවරුන් පිරිසක් තොරා පත්වන ආකාරයට අවශ්‍ය විධිවිධාන ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය. එසේම එම යෝජනාව පදනම් කරගෙන සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන ව්‍යවස්ථා සංශෝධන ‍ඉදිරිපත් කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බවද කීය.

උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම් උතුරේ දැනට මැතිවරණ කොට්ඨාස 11ක් ඇතත් පාර්ලිමේන්තුවට පත්වනුයේ මන්ත්‍රීවරුන් 7දෙනකු පමණක් බවත්, එහෙත් නව මැතිවරණ ක්‍රමය අනුව එම කොට්ඨාස සියල්ල සඳහාම මන්ත්‍රීවරුන් පත්වනු ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එසේම මේ යටතේ ජන ඝනත්වය සැලකිල්ලට ගෙන බහු මන්ත්‍රී ආසන ක්‍රමයක් ද ක්‍රියාත්මක ‍වනු ඇතැයි කී ඇමැතිවරයා ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා දැනට පත් කෙරෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තවත් පහකින් වැඩිවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නැති බවට පළව තිබෙන අදහස් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියකු මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ රජයේ වැඩපිළිවෙළට විරුද්ධවීමට කිසිවකුට නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයට විරුද්ධ වන්නේ නම් එය ඵෙතිහාසික වරදක් වනු ඇති බවත් ය. මේ සම්බන්ධයෙන් එම පක්ෂය සමඟ ජනාධිපතිතුමා පෙරේදා සාකච්ඡාවක් පැවැත්වූ බවද ඇමැතිවරයා සඳහන් ‍කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා