හිටපු ජනපතිගේ මුක්තියේ මුසාව

හිටපු ජනපතිගේ මුක්තියේ මුසාව

ජේෂ්ඨ නීතිඥ

ජේ. සී. වැලිඅමුණ මහතා

අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවට හිටපු ජනාධිපතිවරයා කැඳවීමට අල්ලස් හෝ දූෂණ කොමිසම තීරණය කළේ තිස්ස අත්තනායක මහතාට විරුද්ධව අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අවශ්‍ය සාක්ෂි ලබාගැනීම සඳහාය. මෙය තරමක මතභේදාත්මක කරුණක් වූයේ ජනාධිපතිවරයා එසේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ඉදිරියට කැඳවිය නොහැකි බවට මත පළවීමත් සමඟය. එය පාර්ලිමේන්තුවේ උපවාසයක් දක්වාම ඇදී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ජනාධිපතිවරයා ඉදිරියට ගොස් කටඋත්තර ලබාගැනීමට යෝජනා වී තිබේ. අල්ලස් කොමිසම හමුවට ජනාධිපතිවරයා කැඳවීම හෝ අල්ලස් කොමිසම ජනාධිපතිවරයා හමුවට ගොස් කටඋත්තරයක් ගත්තද, සිදු වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගෙන් කටඋත්තර ගැනීමය. යහපාලනය යටතේ නීතිය ශක්තිමත් වීම පිළිබඳව මේ නිසා සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවට සතුටුවිය හැකිය. ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවට පමුණුවාලීමේ නීතිමය තත්ත්වය පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා සමඟ කළ සංවාද සටහනකින් මේ ලිපිය සැකසේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමටත් ඔහුට නඩු පැවරීමටත් කටයුතු කළ හැකිය. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ සුගතපාලට එරෙහිව චන්ද්‍රිකා බණ්ඩාරනායක නඩුවය. වෝටර්ස් එජ් හෝටලය සහිත ඉඩම සම්බන්ධ මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් දී තිබේ. එහිදී පැහැදිලි කර ඇත්තේ ජනාධිපතිවරයා ධුරය දරන කාලයේදී කළ වරදකට පසුව නඩු පැවරිය හැකි බවය.

වෝටර්ස් එජ් ඉඩම පවරා දුන් ආකාරයේ පැවති අක්‍රමිකතා සහ නීතිවිරෝධී පිළිවෙළ අභියෝගයට ලක්වූ පසු එහි වගඋත්තරකාරිය වූ හිටපු ජනාධිපතිනියගෙන් වන්දියක් ද අයකර ගත්තේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තියට අනුව එහි සඳහන් වන්නේ ජනාධිපතිවරයාට පුද්ගලිකත්වයෙන් හෝ රාජකාරිමය වශයෙන් ඔහු එම ධුරයේ සිටිනතාක් කල් නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට නොහැකිය. එහෙත් එම මුක්තිය නොමැති කාලයේදී නඩු පැවරිය ‍හැකි බව 35 – 2 හි පැහැදිලිව සඳහන් වේ.

එසේ හෙයින් මෙම පරීක්ෂණය නිසි පරිදි සිදු නොවුණහොත් වෙනත් ගැටලුවකදී ද හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට නොහැකි වේ. එය නීතියේ ආදිපත්‍ය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් මෙන්ම අල්ලස් කොමිසමේ ‍කාර්යයන් අකර්මණ්‍ය වීමට ද ඉන් ඉඩකඩ සැලසෙනු ඇත. මෙය නිවැරැදිව සිදු නොවුණහොත් එය වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් ද වේ.

සාධාරණව විමර්ශන කටයුතු කරන අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් වුවද තම කටයුතු සිදුකිරීමේදී මන්දෝත්සාහී වීමට මෙම සිද්ධිය හේතු වනු ඇත.

නීතියේ බලය ද? දූෂිතයන් ආරක්ෂා කරනවාද යන්න තීරණය කළ යුතුය. මේ නිසා දූෂිතයන් ආරක්ෂා කරන්නන්ට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුය. අල්ලස් හෝ දූෂණ ‍සම්බන්ධව පමණක් නොව වෙනත් කටයුතු සම්බන්ධව ද හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව කටයුතු කිරීමේ නීති ප්‍රතිපාදන ව්‍යවස්ථාව සතුය.

ජනාධිපති ධුරය දරන කාලසීමාවේදී යම් අපරාධයක් ජනාධිපතිවරයා සිදුකර ඇත්නම් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහුට විරුද්ධව අපරාධ වැරැදි සම්බන්ධයෙන් ද නඩු පැවරිය හැකිය.

අල්ලස් හෝ දූෂණ පිළිබඳව ප්‍රශ්න කිරීමේ හා කටඋත්තර ලබාගැනීමේ සම්පූර්ණ බලය පැවරී ඇත්තේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවටය. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී සිදුවූ අල්ලස් හෝ දූෂණ සම්බන්ධව ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපතිවරයා කොමිසමට කැඳවීමේ සම්පූර්ණ නිත්‍යානුකූල බලය කොමිසම සතුය.

එසේම අල්ලස් හෝ දූෂණ කොමිසමේ කැඳවීමකට ධුරයෙන් ඉවත් වූ ජනාධිපතිවරයෙකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු නොපැමිණෙන්නේ නම් ඊට එරෙහිව නඩු පැවරීම් බලය ද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනත අනුව කොමිසමට තිබේ.

දූෂිතයකුට එරෙහිව කටයුතු කළ යුතු නම් ඔහුගේ තරාතිරම නොබලා කටයුතු කළ යුතුය. මේ උද්ගත වී ඇති ගැටලුවේදී මෙයට විරුද්ධ වන පාර්ශ්වය දෙස විමසිලිමත්ව බැලිය යුතුය. දූෂිතයන් ආරක්ෂා කිරීමට යමෙක් ඉදිරිපත් වන්නේ නම් ඔවුන් ද එහි කොටස්කරුවන් විය යුතුය.

කුඩා පරිමාණයෙන් දූෂිත ගනුදෙනු කළ අය කොමිසම හමුවට කැඳවීමටත් මහා පරිමාණ ගනුදෙනු කළ අය නොකැඳවීමටත් හේතුවක් තිබිය නොහැකිය. එසේ වුවහොත් නීතියේ පාලනය යහ පාලනය පිළිබඳව විශ්වාසය තැබිය නොහැකිවේ.

මේ සිදුවීම සමඟ නීතිය ශක්තිමත් වන බවට ඉඟි පළවන බව ද පෙනෙන්නට තිබේ. තෝරු මෝරුන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ නීතිය ක්‍රියාත්මක වීමක් මෑත කාලයේ මීට පෙර අප දැක තිබුණේ නැත. තරාතිරම නොබලා යමෙකුට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීති ගරුක පුරවැසියන් සතුටුවනු ඇත. අනාගතයේදී ද තරාතිරම නොබලා අල්ලස් හෝ දූෂණ වැරැදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවේ යොදවන බවට ද මේ මඟින් හොඳ පණිවුඩයක් සපයා තිබේ.

තවත් ලෙසකින් බලන කළ පසුගිය මැතිවරණයේ ජනතා තීන්දුව වූයේ ද දූෂිතයන්ට දඬුවම් කළ යුතුය යන්නය. එය නීතියේ රාමුවේ සිට සිදුවීම වැදගත්ය. මේ අවස්ථාවේ සිදුවන්නේ එම ජනතා තීන්දුව ක්‍රියාත්මක වීමය. මෙවැනි අවස්ථාවක රටේ ජනතාව එළියට පැමිණ එම ආයතන ආරක්ෂා කළ යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව හමුවට පමුණුවනවාට විරුද්ධව විවිධ උද්ඝෝෂණයන්වල නිරත වනු පසුගිය දිනවල දක්නට ලැබිණ. සිය විරෝධය පෑම සඳහා පාර්ලිමේන්තුව ද උපයෝගී කර ගත්තේය. ඔවුන් උද්ඝෝෂණවල නිරතවූයේ රටේ පවතින නීතිය ක්‍රියාවේ යෙදවීමට විරුද්ධවය. එසේ නම් ජනතාව එවැනි අය පිළිබඳව නිසි තීන්දුව ගත යුතුය. නීතිය ක්‍රියාවේ යොදවනවාට විරුද්ධ වීමෙන් ද, දූෂිතයන් ආරක්ෂා කරන්නට ඉදිරිපත් වීමෙන් ද ඔවුන් පෙන්නුම් කරනුයේ ඔවුන්ගේ තරමය. ලොව දියුණු රටවල දූෂිතයන් ආරක්ෂා කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් නොවේ. එ‍ෙමන්ම හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන බැවින් ඔහුට පාර්ලිමේන්තු වරප්‍රසාද හිමිවන්නේ ද නැත.

හිටපු ජනාධිපතිවරයාගේ අයිතීන් උල්ලංඝනය වනවා යැයි යමෙක් සිතන්නේ නම් කළ යුතු හොඳම දෙය වන්නේ ඒ පිළිබඳව විනිශ්චයක් ලබාගැනීම සඳහා අධිකරණය හමුවට යාමය. එසේ නොමැතිව බලහත්කාරයෙන් සිදුකරන උද්ඝෝෂණ ක්‍රියා අනුමත කළ නොහැක.

මෙවැනි සිදුවීම් නිසා මෙම පරීක්ෂණ සඳහා බලපෑමක් සිදුවන්නේ නම් අපට පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය පිහිටුවිය නොහැකි බවය. අවනීතිය රජවුණු රාජපක්ෂ යුගයට නැවත වරක් යා හැකි බව ද ඉන් කියැවේ. ඉතා අපහසුවෙන් නීතියේ ආධිපත්‍ය ගොඩනැඟීමට උත්සාහ ගන්නා කාලයක මෙවැනි සිදුවීම් සිදුවන්නේ නම් එය පරාජය කිරීම සඳහා නීතියට ගරුකරන ජනතාව ඉදිරිපත් විය යුතුය.

රටට වැඩ කළ යුද්ධය දිනූ නායකයා අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවට පැමිණවීම නොකළ යුත්තකැයි යමෙක් පවසන්නේ නම් ඊට දිය හැකි හොඳම පිළිතුර වන්නේ දියේ ගසාගෙන යන ගැහැණු ළමයෙකු බේරාගත් පසු බේරාගත් පුද්ගලයා විසින් එම ගැහැනු ළමයාව දූෂණය කළහොත් ගැහැනු ළමයා බේරාගැනුණේ ඔහු විසින් බැවින් ඊට විරුද්ධව නඩු නොපවරා සිටීමට කරන ඉල්ලීමක් වැනි බවය.

යම්කිසි කෙනෙක් කළ හොඳ දේවල් අගයනවා සේම නීති විරෝධී යමක් කළා නම් ඊට විරුද්ධව නීතිය ද ක්‍රියාත්මක විය යුතුය. යුද්ධය ජය ගැනීමේ කොටස්කරුවෙක් වූ හිටපු ජනාධිපතිවරයාට හිමි ගෞරවය මේ නිසා පලුදුවීමක් සිදු නොවනු ඇත. කෙසේ වුවද සිදුවෙමින් පවතින තත්ත්වය නීතියේ ආධිපත්‍යයට බලපෑමක් බව නම් කිව යුතුය. මා සිතන ආකාරයට හිටපු ජනාධිපතිවරයාට මේ ආණ්ඩුවට වඩා මුදල් තිබේ. ඔහු වටා සිටින අයටත් මුදල් තිබේ. මෙම මුදල් වියදම් කරමින් කරනු ලබන සිදුවීම් රැසක් අපි පසුගිය කාලයේ දුටුවෙමු. හිටපු ජනපතිවරයා තවමත් හැසිරෙන්නේ බලයේ සිටින අයෙක් ලෙසය. එය ඔහුගේ වර්තමාන ක්‍රියා පිළිවෙත දෙස බැලීමේදී හොඳින්ම පැහැදිලිය.

එක් අතකින් 19 ට එරෙහිව එන බලපෑමක් ලෙස ද මෙය සැලකිය හැකිය. අපි කළ වැරදිවලට නඩු දානවා නම් 19 ට සහාය නොදෙන බවත් මේ මඟින් ව්‍යාංගයෙන් පැවසේ.

ජයගන්නේ නීතියේ බලය ද, දූෂිතයින්ගේ බලය ද යන්න පිළිබඳව රටේ සමස්ත ජනතාව හොඳින් බලා සිටින බව නීතිය සම්බන්ධව කටයුතු කරන අය මෙන්ම මහජන නියෝජිතයින් ද සිහි තබාගත යුතු වන්නේ එහෙයිනි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා