ලක්ෂ 50 මැණික් හොරු මාස 5කට පසු හසුවෙති

ලක්ෂ 50 මැණික් හොරු මාස 5කට පසු හසුවෙති

රත්නපුර පාම්ගාඩන් ප්‍රදේශයේ මැණික් කැපුම් මධ්‍යස්ථානයකින් ජනවාරි මාසයේ සොරාගන්නා ලද රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මැණික් ගල් තොගයක් එම ආයතනයේ සේවයේ යෙදුණ සේවකයින් දෙදෙනෙකු හා ආරක්ෂක නිලධාරියකු ළඟ තිබී රත්නපුර පොලිසිය 22දා අත්අඩංගුවට ගෙන ඇත.

මැණික් මංකොල්ලය සිදු කළ සැකකරුවන් තිදෙනාගෙන් අයෙකු සියඹලාණ්ඩුවේ පදිංචිකරුවකු වන අතර අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් කුරුවිට එරත්න සහ ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අමෙරිකාව, චීනය ඇතුළු විදේශ රටවල් ගණනාවකට මේ මැණික් කැපුම් මධ්‍යස්ථානය මඟින් රළු මැණික් මිලට ගෙන කපා ඔපදමා අපනයනය කරනු ලබයි.

මේ මැණික් කැපුම් කර්මාන්ත මධ්‍යස්ථානයේ පළමුවරට මැණික් සොරකම (2015-1-14) හමුවීමෙන් පසු එහි අයිතිකරු ජනවාරි 22දා රත්නපුර පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසියට ලැබුණ පැමිණිල්ල මත දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂණ පැවැත්වූ රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක නවරත්න මහතා ඇතුළු නිලධාරීන් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත ප්‍රනාන්දු, රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත සියඹලාණ්ඩුවට ගොස් එක් සැකකරුවෙකුගේ සහෝදරියකගේ නිවසේ සඟවා තිබී මැණික් සොයාගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට සියඹලාණ්ඩුවට අප්‍රේල් 22දා පාන්දර 2.00ට පොලිස් නිලධාරීන් ගොස් ඇති අතර එදින පාන්දර පොලිස් නිලධාරීන් ගොස් අත්අඩංගුවට නොගත්තා නම් එදින පාන්දර 5.00 එම ස්ථානයෙන් පිටවීමට සැකකරු සැලසුම් කර තිබූ බව පොලිස් පරීක්ෂණයේදී හෙළිවී ඇත.

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත ප්‍රනාන්දු මහතා සහ රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර, රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක නවරත්න, සැරයන් (19455) හේමචන්ද්‍ර කොස්තාපල් වරුන්වන (88730) විජේසේකර (84454) සේනානායක යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සහභාගි වී තිබේ. සැකකරුවන් තිදෙනා අප්‍රේල් 28 දින (අද) රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සොයාගත් මැණික් ගල් අඩංගු බෝතල්

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා