ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කෝටි 2කට වැඩි මූල්‍ය වංචා රැසක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කෝටි 2කට වැඩි මූල්‍ය වංචා රැසක්

ක්‍රීඩා පිටි සංවර්ධනයට-පාපන්දු තරග සංවිධානයට-නිවාස ඉදිකිරීමට ලැබුණු මුදල් හිටපු ප්‍රධානීන් දෙදෙනකු පිල්ලි ගහලා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිදුවී ඇතැයි කියන රුපියල් 22,902,965ක පමණ මූල්‍ය වංචා රැසක් රජයේ විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි.

වසර 2006 සිට 2011 දක්වා වසර 6ක කාලයේ සිදුව ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට රජ‍යේ විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගියදා ලිඛිතව දැනුම්දී තිබේ. එහෙත් මේ පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ග එම ආයතන දෙක තවමත් ගෙන නොමැති බව පාපන්දු ක්‍රීඩා සමාජ ප්‍රධානීහු පෙන්වා දෙති.

කළුතර ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉතාලියෙන් ලැබුණු රුපියල් 62, 87,670ක්, ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලිය 2008දී ශ්‍රී ලංකාවේ පැවැති අවස්ථාවේදී ලැබුණු රුපියල් 64,15,290ක්, සුනාමි ආධාර ව්‍යාපෘතියක් වෙනුවෙන් පුද්ගලික සමාගමකින් ලැබුණු මුදලින් රුපියල් 50,‍00,000ක් හා වසර 2008දී ශ්‍රී ලංකාවේ පැවැති දකුණු ආසියානු පාපන්දු තරගාවලිය වෙනුවෙන් ලැබුණු සත්කාරක ආධාර මුදලින් රුපියල් 52,00,000ක් වංචාවී ඇතැයි පැවැසේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධාන පෙළේ නිලධාරීන් දෙදෙනකුගේ නම් සහිතවම මේ චෝදනා එල්ලවී ඇති අතර එම නිලධාරීන් දෙදෙනාට පාපන්දු විධායක සභාව විධිමත් බලතල පැවරීමකින් තොරව මේ කටයුතු සිදුවී ඇතිබවද පෙන්වා දී ඇත.

එලෙස පාපන්දු විධායක සභාව විධිමත් බලතල පැවැරීමකින් තොරව පුද්ගලයන් දෙදෙනකු කටයුතු කරද්දී දැනට සම්මේලනයේ සිටින හා එම දිනවල විධායක සභාව නියෝජනය කළ නිලධාරීන් නිහඩව සිටියේ ඇයිදැයි පාපන්දු ක්‍රීඩා සමාජ ප්‍රශ්න කර සිටිති. කෙසේවුවද ඉදිරියේදී පාපන්දු සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යාංශය මේ පිළිබඳව ක්‍රියාත්මකවනු ඇතැයි එම ක්‍රීඩා සමාජවල නිලධාරීන්ගේ විශ්වාසයවී තිබේ.

කළුතර ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ඉතාලි පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමය වසර 2008 ජනවාරි 8වැනිදා යුරෝ 40,400ක් (රු.62,87,670ක්) ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ 02119098902 දරණ අමෙරිකානු ඩොලර් ගිණුමට ලබාදී ඇත. එම මුදල් ලැබී ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය බව සනාථ කිරීමේ ලිපි ලේඛණවලින් තහවුරු උනද ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවෙන් කොල්ලුපිටියේ කොමර්ෂල් බැංකුවේ තිබූ පෞද්ගලික බැංකු ගිණුමකට මාරුකරගෙන ඇත. එම ගිණුමේ හිමිකරු පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරියෙකු වන අතර එලෙස මුදල් ලබාගැනීමට විධායක නිලධාරියෙකු අස්සන් තබා මුදල් ගැනීමට සහයෝගය ලබාදී තිබේ. ඒ සඳහා එකිනෙකට වෙනස් තොරතුරු ඇතුළත් කොට බැංකු නියෝග ලිපි 2ක් සකස්කර තිබේ. සම්මේලනයේ ලිපිගොනුවට දමා ඇති ව්‍යාජ ලිපියෙන් පාපන්දු ලීගයකට මුදල් යවන බව දැක්වෙන අතර පෞද්ගලික ගිණුමට මුදල් බැරවන ලිපිය කොමර්ෂල් බැංකුවට යවා බරපතල වරදක්කොට ඇතිබව නිරීක්ෂණය වී තිබේ. වසර 2008දී ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන තරගාවලියේදී ලැබුණු ඇ.ඩො 60000ක් (රු.64,15,290) එම වසරේ මැයි 12දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලබාදී තිබුණු අතර එම මුදල් රත්නම් ක්‍රීඩා සමාජයට ලබාදෙන බව හඟවමින් කොල්ලුපිටියේ කොමර්ෂල් බැංකුවේ පෞද්ගලික ගිණුමකට හොර රහසේ යවා ඇත. විධායක කමිටු සාමාජිකයා පෙර පරිදිම ව්‍යාජ නියෝග ලිපියක් වංචා සහගත ලෙස සකස් කොට ඇත්තේ එවක භාණ්ඩාගාරික ලෙස සිටි අයගේ අස්සන් ස්කෑන් කොට යොදා ගනිමින් බවටද තහවුරුවී ඇත. මේ පිළිබඳ සාක්ෂි විමසීමේදී රත්නම් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා පවසා ඇත්තේ රත්නම්ස් ගිණුමට මෙවැනි මුදලක් බැරවී නොමැති බවය.

සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූ අයට නිවාස ඉදිකිරීම සඳහා හොල්සිම් සමාගම ලබාදුන් රුපියල් 10,000,000කින් රුපියල් 50,00,000ක් නිවාස ඉදිකිරීම් කටයුතු කරන ස්වේච්ඡා සංවිධාන 3කින් සැදුම්ලත් ආයතනයකට ලබාදී ඇතත් ඉතිරි මුදල එම ආයතනයට නොලැබුණු බවත් ආයතනය සාක්ෂි සපයා ඇත. එහෙයින් ඉතිරි රුපියල් 50,00,000ක මුදල සම්මේලනයේ හිටපු ප්‍රධානියකු වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි සඳහන් වේ.

දකුණු ආසියානු පාපන්දු කුසලාන තරගාවලිය 2008දී ශ්‍රී ලංකාවේ පැවැතෙද්දී සත්කාරක ආරාධ මුදල් ලෙස ඇ.ඩො.160,000ක් ලබාදීමටත් පසුව අමතරව ඇ.ඩො.40,000ක් ලබාදීමටත් ආසියානු පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබුණි. එය පිළිවෙළින් ඇ.ඩා.40000ක්, 100000ක් හා 60000ක් ලෙස පාපන්දු සම්මේලනයේ ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ අමෙරිකානු ඩොලර් ගිණුමට 2008 මැයි හා ඔක්තෝබර් මාසවලදී ලැබී තිබුණි. අමතරව ලැබුණු ඇ.ඩො. 40000ක අතිරේක ආධාර මුදල පිළිබඳ සම්මේලනයේ විධායක සභාවට වසන් කොට එය ඉන්දියානු බැංකුවක ගිණුමකට යවා ඇති බවට තහවුරු කරගෙන තිබේ. එම මුදල වංචා සහගත ලෙස ලබා ඇත්තේද විධායක කමිටු නිලධාරියාගේ සහයෝගය මත සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා