පින්නවලට සුරතලෙක් එද්දී තවත් සුරතලෙක් යයි

පින්නවලට සුරතලෙක් එද්දී තවත් සුරතලෙක් යයි

පින්නවල අලි අනාථාගාරයේදී ඊයේ (10) අලුයම 1.10 ට පමණ තවත් අලි පැටවකු උපත ලැබීය.

පසුගිය වසරේ ජනාධිපතිවරයා විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ ‘සින්දු’ නමැති ඇත් පැටවාගේ නැගණිය ලෙස උපත ලද මේ අලි පැටවා පින්නවල අලි අනාථාගාරයේ උපත ලද හැට හත්වැනි පැටවා වේ. අලි අනාථාගාරයට 1990 වසරේදී ගෙන ආ ‘ශාන්ති’ නමැති ඇතින්න විසින් බිහිකළ මේ පැටවා ඇගේ දෙවැනි පැටවා වේ. මීට පෙර 2006 වසරේ නොවැම්බර් 09 වැනි දින ‘ශාන්ති’ විසින් ‘සින්දු’ නමැති ඇත් පැටවා බිහි කළා ය.

‘ශාන්ති’ ට මෙවර උපන් අලි පැටවා ගැහැණු සතෙකි. ඇගේ බර කිලෝ ග්‍රෑම් 110ක් පමණ වන අතර, උස අඩි තුනකුත් අඟල් හයකි. අලිමවත්, පැටවාත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව අලි අනාථාගාරයේ නිලධාරීහු පවසති. අලුත උපන් අලි පැටවාගේ පියා අලි අනාථාගාරයේ වෙසෙන ‘වසභ’ යැයි සැලකේ. මෙසේ එම උපත් සිදුවන විට එහිඳීම ප්‍රථිකාර ලබමින් සිටි ‘ළසඳා’ ඇතින්නගේ මාස හතක් වයසැති අලි පැටවා ඊයේ (10) පෙරවරුවේ මිය ගියේ ය.

‘ළසඳා’ විසින් මේ පැටවා බිහිකිරීමෙන් පසු මව්කිරි ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් පැටවා දැඩි ලෙස රෝගාතුරව මාස කීපයක්ම ප්‍රතිකාර ලැබීය. මව්කිරි නොලැබීම හා බර ආහාර නොගැනීම මත දිනෙන් දින දුර්වල වූ මේ අලි පැටවාගේ ජීවිතය බේරාගැනීම සඳහා අලි අනාථාගාරයේ බලධාරින් බලවත් පරිශ්‍රමයක් දැරූහ. එම පරිශ්‍රමය ව්‍යර්ථ කරමින් අද (10) අලුයම 1.30 ට පමණ මේ අලි පැටවා මිය ගියේ ය.

මියගිය අලිපැටවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යවා ඇත.

මේ වර්ෂයේ තවත් අලි පැටවකු ජුනි මස 04 වැනි දින ද පින්නවල අලි අනාථාගාරයේදී මිය ගියේ ය. ඒ ‘කාන්ති’ නම් ඇතින්නගේ පැටවා මා ඔයේ ගිලීමෙන් සිදුවූ මරණයයි. එම අලි පැටවා මිය යන විට වයස මාස දෙකක් වූ අතර, අලි පැටවාගේ මරණය සම්බන්ධයෙන් ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් ඇත්ගොවුවකුගේ සේවය අත්හිටුවන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා