උතුරට දෙන දේශපාලන විසඳුම ලියවිල්ලකට සීමාවන්නේ නෑ

උතුරට දෙන දේශපාලන විසඳුම ලියවිල්ලකට සීමාවන්නේ නෑ

කාලය මාස 6

සියලු ජාතීන්ට සාධාරණය

හොඳම තැන පාර්ලිමේන්තුව

- බැසිල් රාජපක්ෂ

උතුරේ ජනතාව වෙනුවෙන් ලබා දෙන දේශපාලන විසැඳුම හුදෙක් ලියවිල්ලක් නොව සියලු ගැටලු විසැඳෙන ප්‍රායෝගික විසඳුමක් බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

කුමක් හෝ විසැඳුමක් උතුරේ ජනතාවගේ කරපිට පැටවීමට රජයට අවශ්‍යතාවක් නැති බව සඳහන් කළ ඇමැතිවරයා කාලාන්තරයක් පවතින ස්ථිරසාර විසැඳුමක් ලබා දීම අරමුණ බවත් අවධාරණය කළේය.

විසැඳුමක් ලබා දීමේදී රජය කල් මරන බවට නැඟෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ඇමැතිවරයා මාස 6ක් තුළ දේශපාලන විසැඳුම සම්බන්ධ යෝජනා දිය යුතුයැයි යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කාල වකවානු නියම කර ඇති බවත් වසර තිහක් තිබූ ගැටලුවකට මාස 6 කින් විසැඳුම් දීමත් ජයග්‍රහණයක් බවත් පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ උතුර ඇතුළුව රට පුරා දෙමළ භාෂාවෙන් පළ කෙරෙන පුවත්පත් කර්තෘවරුන් හා ගුවන්විදුලි ප්‍රධානීන් ඊයේ (10) හමු වූ අවස්ථාවේදීය.

තිනකරන්, උදයන්, සුඩර්ඔලි, වීරකේසරී, නවමිණි පුවත්පත්වල කර්තෘවරුන් හා නියෝජිතයන් ඇතුළු පිරිසක් සමඟ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති මේ සාකච්ඡාවේදී පැය දෙකකට කාලයක් නැඟුණු ප්‍රශ්නවලට ඇමැතිවරයා පිළිතුරු දුන්නේය. නැවත පදිංචි කිරීම්, දේශපාලන විසඳුම, චැනල් 4 සිද්ධිය ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කෙරිණ.

උතුරේ දේශපාලන විසැඳුම කඩිනමින් ලබා දීම රජයේ බලාපොරොත්තුව බව සඳහන් කළ ඇමැතිවරයා ඒ පිළිබඳ විශ්වාසයෙන් සිටින ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කිසිදු ජාතියකට අසාධාරණයක් කරන්නට රජයට අවශ්‍ය නැති බවත් සියලු දෙනාම එකඟ වන විසැඳුමක් සැකසීම විශාල අභියෝගයක් බවත් ඇමැතිවරයා කීවේය. එක පාර්ශවයක් හෝ එකඟ නොවන විසැඳුමකින් නැති ප්‍රශ්න ඇති වන්නට ඉඩ ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එවැනි විසැඳුමක් දෙන්නට හොඳම ස්ථානය වන්නේ ව්‍යවස්ථාදායක බලය ඇති පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන සභාවක් මඟින් බව පැහැදිලි කළ ඇමැතිවරයා සියලු ජනතාවට සමව සලකන, ගැටලු විසඳන, මානව අයිතීන් සුරකින අපේ ව්‍යවස්ථාව ලෝකයේ හොඳම ව්‍යවස්ථාව බව ද පැවැසීය.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී ගනේගල, පොල් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ජී. ඒ චන්ද්‍රසිරි, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා