සමුපකාරය අධිකරණයට යයි

ප්‍රමිති සහතිකය නොදීම ගැන

සමුපකාරය අධිකරණයට යයි

මෙරටට අපනයනය කරන ලද සිමෙන්ති කොට්ට ලක්‍ෂයට ප්‍රමිති සහතිකය ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එරෙහිව අධිකරණය වෙත යාමට ජාතික සමුපකාර මණ්ඩලය තීරණය කරයි.

ඊයේ (10) වනවිටත් එම සිමෙන්ති තොගයට ප්‍රමිති සහතිකය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

මේ සිමෙන්ති ගෙන්වූ පාකිස්ථානයේ ලකී සිමෙන්ති සමාගමට එක්සත් රාජධානියෙන්ද ((UK) ප්‍රමිති සහතික ලබා දී තිබේ.

ජාතික සමුපකාර මණ්ඩලය ගෙන් වූ සිමෙන්ති තොගයට පමණක් ප්‍රමිති සහතිකය නොලැබීම පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම ජාතික සමුපකාර මණ්ඩලයේ ඉදිරි සැළසුම වෙයි.

මේ සිමෙන්ති සඳහා ප්‍රමිති සහතිකය ලබා නොදීමට හේතු කිසිවක් පැහැදිලි කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ බලධාරීන් විසින් සිදු කර නොමැත.

සමුපකාර මණ්ඩලයේ සිමෙන්ති තොග වෙළෙඳ පොළට දැමීමට එස්. එල්. එස්. සහතිකය හරස්ව තිබියදී පෞද්ගලික වෙළෙඳ සමාගම් ආනයනය කළ සිමෙන්ති රට පුරා වැඩි මිලට විකුණමින් තිබේ.

මේ වනවිට සිමෙන්ති කොට්ට ලක්‍ෂයෙන් දාහතර දහසක් පමණ වරායෙන් පිටතට ගෙන තිබේ. ඒවා ගබඩාකර තැබීම ඇතුළු ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී තිබේ. එම නිසා අධිකරණය වෙත ගොස් කඩිනමින් ඊට විසඳුමක් ලබා ගැනීමට සමුපකාර මණ්ඩලය කටයුතු කරයි.

මේ ගැටලුව සම්බන්ධයෙන් ලකී සමාගමේ නියෝජිතයකු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ සාකච්ඡා කර තිබේ. එහෙත් ප්‍රමිති ආයතනය ඔවුන්ටද නිසි පිළිතුරක් ලබා දී නැති බව පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා