දිනක මත්ද්‍රව්‍ය වැටලීම්වලින් රු.1,50,000ක දඩ මුදලක්

දිනක මත්ද්‍රව්‍ය වැටලීම්වලින් රු.1,50,000ක දඩ මුදලක්

මත්කුඩු හා මත්පැන් අලෙවි කළ සැකකරුවන් විසි දෙනකු එක් දිනක දී අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රුපියල් එක් ලක්ෂ පනස් දහස් පන්සියයක දඩ මුදලක් රජයට ලබා දීමට ජාඇළ සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

කඳාන, රාගම, බටගම, නිවන්දම යන ප්‍රදේශවලින් මෙම සැකකරුවන් කොටුකරගෙන තිබේ. මෙහිදී කංසා හා හෙරොයින් ජාවාරමේ යෙදුණු සැකකරුවන් වැඩි පිරිසක් රාගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව ජාඇළ සුරාබදු ස්ථානාධිපති ආර්. ඒ. ඩී. ඉන්ද්‍රනාත් මහතා පැවැසීය.

කසිප්පු ස්ප්‍රීතු ලීටර් 15 ක්, කංසා මිලිග්‍රෑම් 1950 ක්, හෙරොයින් මිලිග්‍රෑම් 1500 ක්, සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

සෝදිසි මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි දෙනා ගම්පහ හා කනුවන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරු සැකකරුවනට රුපියල් එක්ලක්ෂ පනස් දහස් පන්සියයක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය.

ජාඇළ සුරාබදු අධිකාරි කීර්ති පෙරේරා, සුරාබදු ස්ථානාධිපති ආර්. ඒ. ඩී. ඉන්ද්‍රනාත් යන මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්‍ෂකවරුන් වන එස්. කේ. රාජපක්‍ෂ, සැරයන් මේජර් ඩයස් කුලසිංහ, නියාමකවරුන් වන සම්පත් වරකාගොඩ බණ්ඩාර, හේරත්, රියැදුරු කුරේ යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා