දක්ෂ පොලිස් නිලධාරීන්ට උසස්වීම් එවේලේම

දක්ෂ පොලිස් නිලධාරීන්ට උසස්වීම් එවේලේම

දූෂිතයන්ටත් ඒ සමඟ දැඩි දඬුවම්

රාජකාරියේදී දක්වන දක්ෂතා සහ යහපත් කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරින් වෙත ලබාදෙන ත්‍යාග සහ උසස්වීම් එම සිද්ධිය වූ වහාම ලබාදීමට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා තීරණය කර තිබේ.

එසේම දූෂණ, වංචා, කොල්ලකෑම්, මුදල් අයැදීම් ඇතුළු අපරාධවලට සම්බන්ධ වන පොලිස් නිලධාරින්ට ඒ අවස්ථාවේම දඬුවම් ලබාදීමද සිදුකෙරේ.

මේ සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇත.

මීට පෙර යම් දක්ෂතා පෙන් වූ නිලධාරින්ට ත්‍යාග සහ උසස්වීම් ලබාදීම සිදුකෙරුනේ සිද්ධිය වී වසර දෙක තුනකට පසුවය.

නව වැඩසටහන යටතේ අයදුම්පත් පිරවීමකින් තොරව දක්ෂතාව පෙන්වා පැය ගණනක් ඇතුළත ත්‍යාග පිරිනැමීම මින් ඉදිරියට සිදුකෙරේ.

නව වැඩපිළිවෙළ අනුව පසුගිය මාසය තුළ දක්ෂතා පෙන්වූ පොලිස් නිලධාරින්ට ත්‍යාග සහ ඇගයීම් පිරිනැමීම පෙරේදා (09) පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී සිදුකෙරුණි. එහිදී මෑතක සිදුවූ කහවත්තේ භූතයා කොටුකර ගැනීමේ සාර්ථක මෙහෙයුම සිදුකළ රහස් පොලිසියේ 12 දෙනෙකුට ත්‍යාග හිමිවිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා