බීජිං-ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය ජනපති විවෘත කරයි

බීජිං-ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය ජනපති විවෘත කරයි

බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් අද (11) පෙරවරුවේ විවෘත කිරීමට නියමිත ය. බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය පිහිටුවා වසර 70ක් ද එහි ආසියානු - අප්‍රිකානු පාසල යටතේ පිහිටුවා ඇති සිංහල භාෂා අධ්‍යයන ඒකකයට වසර 50ක් ද පිරීම නිමිත්තෙන් හෙට පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ද ජනාධිපතිවරයාය.

බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලයේ ආසියානු - අප්‍රිකානු පාසල යටතේ භාෂා 17ක් ඉගැන්වෙන අතර, සිංහල භාෂාව ද ඊට ඇතුළත් ය. චීන සිසු සිසුවියන් 14 දෙනකු එහි සිංහල භාෂාව පිළිබඳ ප්‍රථම උපාධිය හදාරන අතර තිදෙනෙක් ශාස්ත්‍රපති උපාධිය හදාරති.

අද දින අලුතින් ආරම්භ වන ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය යටතේ සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබඳ හැදෑරීමටත්, එහි ප්‍රගමනය සඳහා පර්යේෂණයන්හි නියැලීමටත් චීන සිසු සිසුවියන්ට ඉඩකඩ සැලසෙනු ඇත.

මේ උත්සවය සඳහා ජනාධිපතිවරයා සමඟ මේ සංචාරයට එක්ව සිටින විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, පා. ම. සජින් වාස් ගුණවර්ධන මහත්වරු ද සහභාගී වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා