කප්පම් ගන්න පැහැරගත් දස හැවිරිදි දරුවා බේරා ගනී

කප්පම් ගන්න පැහැරගත් දස හැවිරිදි දරුවා බේරා ගනී

බොඩගොල්ල රක්ෂිතයේ සඟවා තබලා

සැකකාර ඥාතියා අත්අඩංගුවට

කප්පම් මුදලක් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් රංගල බොඩෝගොල්ල රක්ෂිතයේ සඟවා තබාගෙන සිටි බවට සැකකරන තෙල්දෙණිය අළුත්වත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවකු එම රක්ෂිතයේ හඬමින් සිටියදී රංගල පොලිසිය හා ප්‍රදේශවාසීහු එක්ව සොයාගෙන ඇත.

මේ අතර දරුවා පැහැරගත් බවට සැකකරන ඔහුගේ ඥාතියකු ද රංගල පොලිසිය මගින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ දරුවාගේ මව සහ පුංචි අම්මා විදේශගතව සිටින බවත්, සැකකරු දරුවා පැහැර ගැනීමෙන් පසු විදේශගතව සිටින දරුවාගේ පුංචි අම්මාගෙන් රුපියල් ලක්‍ෂ හතරක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවත්, පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මේ අතර දරුවාගේ පුංචිඅම්මා බව කියන කාන්තාව සමඟ සැකකරු අනියම් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවටත්, පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත රංගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කපිල බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන සී. නන්දික (86092), වී. කුලතුංග (72529), ඩී. මේඝසූරිය යන මහත්වරු මෙහි පරීක්‍ෂණ පැවැත්වූ අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය වෙත භාර දෙනු ලැබීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා