ආසියානු කනිෂ්ඨ රගර් අද ඇරැඹේ

ආසියානු කනිෂ්ඨ රගර් අද ඇරැඹේ

ශ්‍රී ලංකාව සමග මලයාසියාව, චීන තායිපේ සහ සිංගප්පූරුව තරග වදින අවුරුදු 19න් පහළ ආසියානු කනිෂ්ඨ රගර් දෙවැනි කොටසේ තරගාවලිය අද (12) හැව්ලොක්ස් පිටියේ දී ආරම්භ වේ. තරගාවලියේ පළමු දිනය වන අද පස්වරු 3.00ට චීන තායිපේ සහ මලයාසියාව අතර තරගයත්, පස්වරු 4.45ට ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගයත් පැවැත්වීමට නියමිතය.

අද තරග 2හී ජයග්‍රහකයන් ලබන 15වැනිදා පස්වරු 4.45ට තරගාවලියේ පළමු ස්ථානය අත්කරගැනීමේ අරමුණින් තරග වදින අතර පරාජිතයන් තරගාවලියේ 3වැනි ස්ථානය සඳහා එදින පස්වරු 3.00ට තරග වදිති. තරගාවලියේ ජයග්‍රාහකයන්ට ලබන වසරේ ආසියානු කනිෂ්ඨ රගර් තරගාවලියේ පළමු කොට‍සට එක්වීමේ අවස්ථාව උදාවේ‍.

ජාතික රගර් තේරිම් කමිටුව මගින් ඉතා විශිෂ්ට කණ්ඩායමක් තෝරා ඇති බැවින් මේ තරගාවලියෙන් ජය අත්කර ගැනීමටත්, එමගින් ලබන ව‍සරේ දී මේ තරගාවලියේ පළමු කොටසින් තරග කිරීමේ අවස්ථාව උදාකර ගැනීමටත් ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු නිසාම් ජමාල්දීන් මහතා දිනමිණට පැවැසීය.

පළපුරුදු ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වන ෂම්ලි නවාස් සහ අසංක රොද්‍රිගෝ යටතේ සාර්ථක පුහුණුවක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලියට හොඳින් මුහුණදීමේ සූදානමකින් පසුවන බව ද හෙතෙම සඳහන් කළේය.

'සිංගප්පූරු කණ්ඩායම අවතක්සේරුවට ලක් කළ නොහැකි නමුත් අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්වන බවට විශ්වාසයි. ඒ වගේම තරගාවලිය ජයගෙන ලබන වසරේ දී පළමු කොටසට එක්වීමට අපිට අනිවාර්යයෙන්ම පුලුවනි.

අවසන් තරගයේ දී බො‍හෝවිට අපිට චීන තායිපේ මුණ ගැසේවි. කොහොම වුනත් ජයග්‍රහණය අපිටයි. ' ජමාල්දීන් මහතා පැවැසීය‍. අන්තර් ජාතික රගර් තරගබිමට අනාගත රගර් තරු බිහිකරන මේ තරගාවලිය නොමිලයේ නැරැඹීමට ක්‍රීඩාලෝලීන්ට පහසුකම් සලසා ඇත.

අද තරගයට සහභාගිවන ශ්‍රී ලංකා පිල- රන්දික අල්විස් (නායක), අරුන් කුමාර් (උපනායක),ඉරෝෂන ද අල්විස්, මොහොමඩ් ඉන්සාෆ්, ළහිරු පවිත්‍ර, ලෝචන ඒකනායක, කුමේන්ද්‍ර ධර්මසේන, ගනිඳු වීරසිංහ, රිචඩ් ධර්මපාල, රිම්සි ජමාල්දීන්, තිසල කරුණාතිලක, හිරන්ත පෙරේරා, හේෂාන් මධුරංග, උදිත ප්‍රේමතිලක, ධනූෂ දයාන්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා