ප්‍රතිවාදී දඟ පන්දුවට බිය නැති පිතිකරුවන් අපට ඉන්නවා

ප්‍රතිවාදී දඟ පන්දුවට බිය නැති පිතිකරුවන් අපට ඉන්නවා

 - කොදෙව් නායක ඩැරන් සැමී

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ඕනෑම ප්‍රතිවාදී දඟ පන්දුවකට සාර්ථකව මුහුණ දීමට හපන් පිතිකරුවන් තම කණ්ඩායම සතුව ඇතැයි බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සැමී ඊයේ ප්‍රකාශ කළේය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ලබන සතියේ ශ්‍රී ලංකාවේ ඇරුඹෙන 4වැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව සිය අදහස් දක්වමින් සැමී එසේ කියා සිටියේය.

ලෝක කුසලාන උන්මාදයෙන් සිටින තම ක්‍රීඩකයන් තරගාවලියට සහභාගි වීම සඳහා ඉතාමත් උනන්දුවෙන් සිටින බවත් සියළු දෙනාම තරගාවලියට හොඳින් සුදානම්ව සිටින බවත් ඔහු පවසා සිටියේය‍‍.

“ඔබ අපෙන් බලාපොරොත්තු වන්නේ හොඳ ක්‍රීඩාවක් නම්...හොඳයි‍! ඒ අභියෝගය බාර ගන්න අපි ලෑස්තියි” කොදෙව් නායකයා මහත් විශ්වාසයෙන් යුතුව කීවේය. ක්‍රීඩකයන් සියළු දෙනාම මනා ශරීර සෞඛ්‍යයෙන් හා සතුටින් සිටින බවත් ආක්‍රමණශීලී ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් නැවත කණ්ඩායමට එක්වීම තමන්ට ලොකු ශක්තියක් බවත් ඩැරන් සැමී පැවසීය.

“තරග ජයග්‍රහණය වෙනුවෙන් අප, අප සතු සියළු සම්පත් යොදා ගත යුතුයි. පිටියේදී සියළු දෙනා එකමුතු විය යුතුයි”.

දක්ෂ කණ්ඩායමක් බවට ‍ලොවට ප්‍රදර්ශනය කිරීමට මෙය අපට ලැබුණු අති විශාල අවස්ථාවක් බව කී සැමී ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කිරීමට ලැබීම මහත් ගෞරවයක් බවද කියා සිටි‍යේය.

පිතිකරණයට ‍හෝ පන්දු යැවීමට පමණක් සීමා නොවී තමා තුන් ඉරියව්වේම ක්‍රීඩා කරන බවද සැමී ප්‍රකාශ කළේය.

මෙවර ‍කුසලානය දිනා ගැනිමේ එක් ජනප්‍රිය කණ්ඩායමක් ලෙසින් තම කණ්ඩායම හඳුන්වනු ලැබීම සතුටට කරුණක් වුවද මෙවැනි ක්‍රීඩාවකදී ඕනෑම කණ්ඩායමකට ජනප්‍රිය විය හැකි බව තම මතය යැයි ඩැරන් සැමී වැඩි දුරටත් පවසා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා