අකිල ධනංජය ජයග්‍රාහී තුරුම්පුවක් වේවි

අකිල ධනංජය ජයග්‍රාහී තුරුම්පුවක් වේවි

 - ශ්‍රී ලංකා ක්‍රිකට් උපනායක ඇන්ජලෝ මැතිව්ස්

ධෛර්යවන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අකිල ධනංජය විවිධත්වයකින් යුතුව පන්දු යවන බවත් එළැඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ජයග්‍රාහී තුරුම්පුවක් ලෙසින් ඔහු යොදා ගැනීමට හැකිවේ යැයි තමා සිතන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් උපනායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ කියා සිටියේය.

පිට දඟ පන්දු යවන අකිල ධනංජය පසුගියදා ප‍්‍රථම වරට පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කඩුලු 9ක් ලබා ගැනීමට සමත් විය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මෙසේද කියා සිටියේය‍.

“විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයෙන් අපට හොඳ සුදානමක් ලැබුනා. ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වෙලා ඉන්න ක්‍රීඩකයන්ගෙන් දෙදෙනෙක් (කුමාර් සංගක්කාර හා නුවන් කුලසේකර) හැරෙන්න අනෙක් සියළු දෙනාම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කළා”.

ලසිත් මාලිංග, කුලසේකර හා ධනංජය යන තිදෙනාම සාර්ථකව පන්දු යවමින් සිටින බවත් පිතිකරුවන්ද දක්ෂතා පෙන්නුම් කර ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සංයුතියකින් යුක්ත එකක් බවත් මැතිව්ස් පැවසීය.

කණ්ඩායමේ උප නායකයා හා සාමාන්‍ය ක්‍රීඩකයා කියා එතරම් වෙනසක් තමාට දැනෙන්නේ නැති බවත් තමා වැඩි අවධානය යොමු කරන්නේ තමාගේ වගකීම කෙරෙහි බවත් ශ්‍රී ලංකා උප නායකයා පවසා සිටියේය.

“පිතිකරු පෙලේ උඩින් ක්‍රීඩා කරන්න මට ආසයි. නමුත් මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ. අන්තිම පිතිකරුවා හැටියට ඇවිල්ලා වුනත් කණ්ඩායමේ අවශ්‍යතාව සපුරන්න මම ලෑස්තියි” ඇන්ජලෝ මැතිව්ස් කීය.

තණතීරු පිළිබඳවද මෙහිදී සිය අදහස් දැක්වු ඔහු ඕනෑම තණතීරුවක් අප සිතනවාට වඩා වෙනස් විය හැකි බවත් ඒ ඕනෑම තණතීරුවක හොඳින් ක්‍රීඩා කිරීමට අප සූදානම් විය යුතු බවත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ තරගාවලිය ගැන නොව තරගයෙන් තරගය හොඳින් ක්‍රීඩා කිරීම කණ්ඩායමේ අරමුණ බවද ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් කියා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා