ඔලිම්පික් ක්‍රීඩා ඇදුම් නිෂ්පාදකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අනුග්‍රහය දෙති

ඔලිම්පික් ක්‍රීඩා ඇදුම් නිෂ්පාදකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අනුග්‍රහය දෙති

විශ්වයේ දැවැන්තම ක්‍රීඩා උලෙළ වන ඔලිම්පික් තරගවලට එක්වන සුප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වා ක්‍රීඩා ඇදුම් නිෂ්පාදනය කරන මාස් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නව ඇගලුම් නිර්මාණය කරයි.

මාස් සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් ඡායාරූප:
වාසිත පටබදිගේ

ඉදිරි වසර තුනක කාලයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් සහභාගීවන ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරගවලදී මාස් හෝල්ඩිං ඇගලුම් සැපයීමේ කොන්ත්‍රාත්තුවට පෙරේදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ගිවිසුම අස්සන් තැබිණි. මේ ගිවිසුමට මාස් සමූහ ව්‍යාපාර සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන් හා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස යන මහත්වරුන් අස්සන් තැබුහ.

මේ ගිවිසුම අනුව පි‍රිමි, කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම් දෙකට, 'ඒ' කණ්ඩායමට හා 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා ඇගලුම් නිර්මාණය වේ.

මාස් සමූහ ව්‍යාපාර ආයතනය ක්‍රීඩාවට අතදීම උදෙසා ශ්‍රී ලංකාවෙන් බිහිවු ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5ක් ඇතුලු ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයයකට පමණ රැකියා අවස්ථාදී ඇතැයි මාස් සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් මහතා පැවැසීය.

“ශ්‍රී ලංකාවේදී අපි නිෂ්පාදනය කරන ඇදුම් ඔලිම්පික් තරගාවලියේදී බොහෝ ක්‍රීඩකයන් භාවිතා කිරීම අපට ආඩම්බරයක්, එංගලන්ත හා ප්‍රංශ රගර් කණ්ඩායම් අඳින්නේත් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ දෑතින් නිෂ්පාදනය වන ඇදුම්. 'ස්පීඩෝ එෆ් වන්' ලොව ජනප්‍රියතම පිහිනුම් ඇදුම් කට්ටලයත් අපේ නිෂ්පාදනයක්.

ලෝකයේ හොඳම ක්‍රීඩකයන්ට ඇදුම් මහන අපි, අපේම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇගලුම් නිර්මාණය කරදී අනුග්‍රහය දැක්වීම සතුටට කරුණක්” ඩයන් ගෝමස් මහතා පැවැසීය.

ලඟ එන අයි‍.සී.සී.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට ජාතියේම ආශිවර්වාදය හිමිවිය යුතු බවද ගෝමස් මහතා සඳහන් කළේය.

මේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව නිල ක්‍රීඩා ඇදුම ප්‍රදර්ශනය කිරීමද විශේෂත්වයකි. එම ක්‍රීඩා ඇදුම ක්‍රීඩා දක්ෂතා අපහසුවකින් තොරව ඉදිරියට ගැනීමේ විශේෂිත අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති බවද සඳහන් විය.

සියුම් ලෙස මසන ලද සැකැස්මකින් නිසි වාතාශ්‍රයක්ද සමග නිර්මාණයවු ක්‍රීඩා ඇදුම තෙතමනය කළමනාකරන කිරීම හා ප්‍රති බැක්ටීරියා ගුණාංගවලින් සමන්විතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග, භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ්, ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, මාස් කළමනාකාර අධ්‍යක්ෂ ෂිරේන්ද්‍ර ලෝරන්ස් යන මහත්වරුද මාධ්‍ය හමුවට එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා