ශ්‍රී ලංකා-චීන තායිපේ අවසන් තරගය අද

ආසියානු කනිෂ්ඨ රගර් තරගාවලිය

ශ්‍රී ලංකා-චීන තායිපේ අවසන් තරගය අද

ලබන වසරේ ආසියානු කනිෂ්ඨ රගර් තරගාවලියේ පළමු කොටස නියෝජන කිරීමේ අවස්ථාව උදාකරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව අද (15) චීන තායිපේ කණ්ඩායම සමග අවුරුදු 19න් පහළ ආසියානු කනිෂ්ඨ රගර් දෙවැනි කොටසේ අවසන් තරගයට පිවිසෙයි. තරගය අද පස්වරු 4.45ට හැව්ලොක්ස් පිටියේ පැවැත්වේ.

තරගාවලියේ පළමු දිනයේ දී සිංගප්පූරුව ලකුණු 37-15කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර මලයාසියාවට එරෙහිව චීන තායිපේ පිල ජය ලැබුවේ නියමිත කාලයේ දී 10-10බැගින් ලකුණු සමවීමේ හේතුවෙන් ලබාදුන් දඬුවම් පහර වටයේ දීය. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ චීන තායිපේ ක්‍රීඩකයන්ට වඩා ඉදිරියෙන් සිටිති.

කෙසේවෙතත් අද තරගය ජයග්‍රහණය ශ්‍රී ලංකාවට 2015 වස‍රේ පැවැත්වෙන ලෝක කනිෂ්ට රගර් ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමේ පළමු කඩඉම ද වේ.

ලෝක කනිෂ්ඨ රගර් ශූරතාවලියට සුදුසුකම් ලබන්නේ ලබන වසරේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ රගර් පළමු කොටසේ තරගාවලියේ වැඩිම දස්කම් දක්වන කණ්ඩායම් 3ටය.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ තරගයෙන් ජයගතහොත් ලබන වසරේ දී ජපානය, දකුණු ‍කොරියාව සහ හොංකොං කණ්ඩායම් සමග ආසියානු කනිෂ්ඨ රගර් තරගාවලියේ පළමු කොටසෙන් තරග වදිනු ඇත.

මේ අතර පළමු දිනයේ පරාජිත කණ්ඩායම් වන මලයාසියාව සහ සිංගප්පූරුව අද පස්වරු 3.00ට තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා හැව්ලොක්ස් පිටියේ දීම තරග වදිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා