සෙසු කණ්ඩායම්වලට වඩා අපට පීඩනය අඩුයි

සෙසු කණ්ඩායම්වලට වඩා අපට පීඩනය අඩුයි

- ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා

පසුගිය කාලයේ වැඩිපුරම විස්සයි20 තරග ක්‍රීඩා කළ ඉන්දියාවට මෙවර විස්සයි20 ‍ලෝක කුසලාන තරගාවලියේ දි සෙසු කණ්ඩායම්වලට තරම් විශාල පීඩනයක් නොදැනෙනු ඇතැයි ඉන්දියා ක්‍රිකට් පිලේ මැදපෙළ පිතිකරු සුරේෂ් රයිනා පැවැසීය. එය තම කණ්ඩායමට අතිරේක වාසියක් වනු ඇතැයි ද ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් රයිනා පවසා සිටියේය.

පසුගිය වසර කීපයක කාලයේ දී ලොව විශිෂ්ටතම ක්‍රිඩකයන් ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වූ බවත්, තම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ද අන්තර් ජාතික ක්‍රීඩකයන් සමග නිරතුරුවම ක්‍රීඩා කිරීමෙන් වඩාත් විශ්වාසනීයත්වයක් ඇතිකර ගැනීමට අවස්ථාව උදාවූ බවත් රයිනා හෙළිදරවු කළේය. ලසිත් මාලිංග වැනි ලෝක පූජිත පන්දුයවන්නන් හමුවේ ඉතා හොඳින් පිත්ත හැසිරවීමට තමා ඇතුලු ඉන්දියා පිලට අයි.පී.එල්. තරගාවලිය ඉවහල් වූ බව ඔහු කියා සිටියේය.

වර්තමානය වනවිට ඉන්දියා පිලේ සෑම පිතිකරුවකුම මාලිංගට එරෙහිව හොඳින් දස්කම් දක්වන බවත් රයිනා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීහූ ලෝකයේ හොඳම ක්‍රීඩාලෝලීන් පිරිසක් බව කී රයිනා ඔවූහූ සෑම රටකම සෑම ක්‍රීඩකයකුටම තම සහයෝගය ඉතා හොඳින් ලබාදෙන බව ද කියා සිටියේය.

කෙසේවුවත් විස්සයි 20 ක්‍රීඩාව යනු ඕනෑම මොහොතක වෙනස්විය හැකි අන්දමේ තරග රටාවක් බවත්, ඇෆ්ගනිස්තානයට හෝ බංග්ලාදේශයට පවා මේ තරගාවලියේ දී ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීම‍ට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.‍


පළමු ඉලක්කය සුපිරි 8ට එක්වීමයි

- බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන්

නිශ්චිත තරග සැලසුමක් අනුව ක්‍රීඩා කරමින් විස්සයි20 තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8ට එක්වීම කණ්ඩායමේ පළමු ඉලක්කය බව බංග්ලාදේශ පිලේ ප්‍රවීන ක්‍රීඩක ශකීබ් අල් හසන් ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

තම කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුව පන්දු යැවීම බවත්, පසුගිය කාලසීමාවේ දී තම කණ්ඩායම වඩාත් සාර්ථකත්වයක් පෙන්නුම් කළේ ද ඒ අංශයෙන් බවත් සඳහන් කළ ශකීබ්, විස්සයි 20 ‍ලෝක කුසලාන තරගාවලියේ දී ඒ තුරුම්පුව තවදුරටත් භාවිතා කරමින් පියවරෙන් පියවර ඉදිරියට යාම කණ්ඩායමේ අරමුණ බව ද පැවැසීය.

කෙසේවුවත් මෙවර තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායම පිළිබඳ අනාවැකි පළකිරීමට අපහසු බවත් ශකීබ් පැවැසීය.

'විස්සයි20 තරග කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම තරග අංශයක්. මෙහිදී එක් අතපසුවීමක් තරගය පරාජය වීමට හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා අනාවැකි කියන්න බැහැ.' හෙතෙම සඳහන් කළේය.


හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා

- එංගලන්ත නායක ස්ටුවර්ට් බ්‍රෝඩ්

අන්තර් ජාතික මට්ටමේ තරගාවලි අත්දැකීම් නොමැති ක්‍රීඩකයන් සිටියත් ආසියානු උපමහාද්වීපයේ පන්දුයවන්නන්ට එරෙහිව ක්‍රීඩා කිරීමෙන් අත්දැකීම් තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත පිලට සාර්ථකව ක්‍රීඩා කළ හැකිවනු ඇතැයි එංගලන්ත නායක ස්ටුවර්ට් බ්‍රෝඩ් ඊයේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටල‍යේ පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් නවක ක්‍රීඩකයන් රැසක් සිටින බැවින් මෙවර තරගාවලිය එංගලන්තයට අභියෝගාත්මක ‍එකක් බවට පත්වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

විස්සයි20 පසුගිය තරගාවලියේ ලෝක ශූරයන් වන එංගලන්තය මෙවර තරගාවලියට සහභාගි වන්නේ ඔවුන්ගේ හොඳම පිතිකරු කෙවින් පීටර්සන් නොමැතිවය. පසුගිය තරගාවලියේ කිරුළ අත්කර ගැනීමට එංගලන්තයට විශාල දායකත්වයක් ලබා දුන් පීටර්සන් තරගාවලියේ වීරයා සම්මානයට ද පාත්‍රවිය.

'කේපී (කෙවින් පීටර්සන් ) තරගාවලියට ඇතුලත් නොවූවත් මට හොඳ සමබර කණ්ඩායමක් ලැබී තිබෙනවා. ස්වාන් වැනි විශිෂ්ට දඟපන්දු යවන්නෙක් අපට සිටිනවා.

ප්‍රතිවාදීන්ට අභියෝගාත්මක වේගපන්දු යවන්නන් අප සතුව සිටිනවා. සෙසු කණ්ඩායම්වලට හොඳ තරගයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.' බ්‍රෝඩ් සඳහන් කළේය.

විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් ඇතුලත් ප්‍රබල කණ්ඩායම් රාශියක් තරග වදින බැවින් මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන් වේලාසනින් අනුමාන කිරීම අසීරු බවත් හෙතෙම පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා