බොදු ජන සිත් පහන් කරන

බොදු ජන සිත් පහන් කරන වාළුකාරාම මහා විහාරයේ ඇසළ පෙරහර

කොළඹ බොදු පුනරුදයේ කේන්ද්‍රස්ථානයක් වූ කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරය මෙවර හතළිස් නව වන වතාවට ද ඇසළ මහා පෙරහර සංවිධාන කරනු ලබයි. අලි ඇතුන් ඇතුළු සම්ප්‍රදායික අංශවලින් පිරුණු මේ පෙරහර 22 (අද) දින රාත්‍රියේ වීදි සංචාරය කෙරේ. මේ එම පෙරහර හා වාළුකාරාම විහාරය පිළිබඳ සැකසුණු ලිපියකි.පියකි.

හනව වැනි සියවසේ දී ආරම්භ වූ කොළඹ නගරයේ පැරැණිම විහාරස්ථානයක් වන කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරස්ථානය අද දක්වා තම ප්‍රමුඛත්වය මෙන්ම ඉහළ වටිනාකම ද ආරක්‍ෂා කර ගෙන තිබේ. අලුතින් බිහි වූ වෙහෙර විහාර කෙතෙක් තිබුණ ද වාළුකාරාමයට ඇති බොදුනු වැදගත්කම මෙතෙක් ආරක්‍ෂාවී තිබෙන්නේ එබැවිනි. මේ මහා විහාරයට පසුගිය කාලයේ දී ඉහළ සමාජ සංස්කෘතික වටිනාකමක් ලැබුණේ එහි වැඩ සිටින දේශප්‍රේමී, ජාතික මෙහෙවරට රිසි ස්වාමින් වහන්සේලා නිසා ය.

විහාරාධිපති මහරගම නන්ද හිමි

එම වැදගත්කම් තව දුරටත් ඉහළ නැංවීමට හේතු වූයේ 1963 වර්ෂයේ දී ආරම්භ වූ වාළුකාරාම මහා විහාරයේ ඇසළ පෙරහර යි. මේ පෙරහර ආරම්භ කිරීමට මූලික වූයේ නිවන්තිඩියේ ආනන්ද මහ නාහිමියන් විසිනි. උන්වහන්සේ විසින් ආරම්භ කළ මෙම ඇසළ මහා පෙරහර අද වන විට තව තවත් උත්කර්ශවත් ලෙස කොළොම්පුර සංචාරය කිරීමට කටයුතු යොදා තිබේ.

නිවන්තිඩියේ ආනන්ද හිමියන් 2004 අවුරුද්දේ දී අපවත්වීමෙන් පසු මෙම පෙරහර සද්කාර්යයේ මෙහෙයුම් කටයුතු කරන්නේ විහාරාධිපති මහරගම නන්ද හිමියන් විසිනි. එම පෙරහර පිළිබඳ අදහස් පළ කරන වත්මන් විහාරාධිපති මහරගම නන්ද හිමියන් අප සමඟ ප්‍රකාශ කළේ තමන්ගේ මෙහෙයවීම යටතේ නිවන්තිඩියේ ආනන්ද හිමියන්ගේ සද්කාර්ය පෙරට ගෙන යාමට තමන් වහන්සේ කටයුතු කරන බවය.

අලි ඇතුන්, උඩරට පහත රට නැටුම් කණ්ඩායම් සහිත අංග රැසක් සමඟ මෙවර ද වාළුකාරාම මහා විහාරයේ ඇසළ පෙරහර වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ධාතුන් වහන්සේ, විෂ්ණු, කතරගම පෙරහර ද මේ ඇසළ මහා පෙරහරට එක්වීමට නියමිතව තිබේ. මේ පෙරහර සඳහා ප්‍රදේශවාසින් හා ව්‍යාපාරිකයන්ගේ ඉහළ සහයෝගයක් ලැබෙන අතර රාජ්‍ය ආයතනවල දායකත්වය ද විශාල ලෙස මේ පෙරහර සඳහා ප්‍රබල පිටිවහලක් සපයනු ලබයි.

එමෙන්ම ගිහි පැවිදි රැසක ශ්‍රමදායකත්වය මේ සඳහා ලැබීම ද අගය කළ යුතුය. මේ පෙරහර සංවිධානය කරනු ලබන්නේ විහාරස්ථ පෙරහර කමිටුව මඟිනි. ආර්. ඒ. ද මෙල් මාවත, බගතලේ පාර, ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය මංසන්ධිය, ටිබැට් වටරවුම ඔස්සේ නැවත වාළුකාරාම විහාරස්ථානය වෙත පැමිණේ. කොළඹ ප්‍රදේ්ශයේ ප්‍රකට පෙරහරක් වන වාළුකාරාම ඇසළ පෙරහර ප්‍රදේශයේ බොදු පුබුදුවට මූලික වන අවස්ථාවක් ලෙස හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ.

ශතක එක හමාරකට අධික වාළුකාරාම විහාර ඉතිහාසය තුළ නාහිමිවරු අට නමක් පමණ මෙහි විහාරාධිපති ධුරය උසුලා තිබේ. ප්‍රදේශයේ ශාස්ත්‍රීය නවෝදයේ කේන්ද්‍රස්ථානය බවට මේ විහාරය පත්වීමට ද මෙම විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ දායකත්වය ඉහළින් ලබා දී තිබේ. එම ස්වාමින්වහන්ස්ලා අතර නිවන්තිඩියේ ආනන්ද හිමි නාමය ඉතාමත් ඉහළින් තැබිය හැකි නමකි. උන්වහන්සේගේ දායකත්වය මේ විහාරයේ සංවර්ධනය වෙත මහත් දායකත්වයක් ලබා දී ඇති බව වත්මන් විහාරාධිපති මහරගම නන්ද හිමියන් සඳහන් කරන්නේ කෘතගුණ පූර්වකව ය.

උන්වහන්සේ සඳහන් කරන පරිදි මෙරට ප්‍රගතිශීලි දේශපාලනය වෙනුවෙන් ඇප කැප වූ හිමිනමකි. 1956 ජනතා පෙරළියට මූලික වූ සඟ වෙද ගුරු ගොවි කම්කරු පෙළ ගැසීමේ මුල් පුරුකක් බවට උන්වහන්සේ ද පත්ව සිටියහ. වාළුකාරාම මහා විහාරයද මේ ප්‍රගතිශීලි ගමන් මඟේ කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. දඹදිව වන්දනා කිරීම ජනප්‍රිය අංගයක් බවට පත් කිරීමට ද එහි වැඩසිටි ආනන්ද හිමියන්ගෙන් අති මහත් දායකත්වයක් ලැබී තිබුණි.

වත්මන් විහාරාධිපති වහන්සේ සඳහන් කරන පරිදි මෙම විහාරය කලක් ප්‍රගතිශීලි දේශපාලනයේ මධ්‍යස්්ථානයක් ලෙස නමක් ගෙන තිබුණ ද දේශපාලනයෙන් අනිසි වාසි හෝ ලාභ ප්‍රයෝජන නොගත්තේ ය. වර්තමානයේ අතිපූජ්‍ය බෙල්ලන ඥාණවිමල ස්වාමින් වහන්සේ වැඩසිටින්නේ ද මේ විහාරයේ ය. එය වාළුකාරාම මහා විහාරයට ආලෝකයෙකැයි සඳහන් කිරීම අසත්‍යක් නොවේ.

වර්තමාන විහාරාධිපති මහරගම නන්ද හිමියන් මෙම විහාරයේ දියුණුව හා ඉදිරි ගමන සඳහා නිහඬ වූත් විශාල වූත් සේවයක් ඉටු කරමින් සිටිති. එහෙත් උන්වහන්සේ මාධ්‍යට නිරාවරණය වීමටත් අනවශ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීමටත් උත්සාහ නොකරන හිමි නමකි. එහෙත් අප කළ නිරීක්‍ෂණවලදී දැක ගැනීමට හැකි වූයේ උන්වහන්සේ විහාරාධිපති ධුරයට පත් වූ පසු විශාල දියුණුවක් අත්පත් කර ගෙන ඇති බවය. මෙයට ඇසළ පෙරහර දර්ශනීය ලෙස පැවැත්වීමට පුළුවන් වීම ද ඇතුළත්ය.

වාළුකාරාම මහා විහාරය පිළිබඳව කතාබහ කරද්දී අසළ ඇති මහානාම විද්‍යාලය ද අමතක කළ නොහැකි ය. මහානාම විද්‍යාලයට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීමටත් එම විදුහල බිහි කිරීමටත් කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරය අති මහත් කාර්යයක් ඉටුකර තිබේ. කොළඹ බොදු පුනරුදයට අති මහත් වෙහෙසක් ඉටු කළ වාළුකාරාම මහා විහාරය අද මෙන්ම හෙටත් බොදු පුනරුදයේ කේන්ද්‍රස්ථානය වන බව නොඅනුමාන ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා