දිවි නැඟුම පනතේ වාසිය ලැබෙන්නේ රටේ දුප්පත් ජනතාවට

දිවි නැඟුම පනතේ වාසිය ලැබෙන්නේ රටේ දුප්පත් ජනතාවට

චන්ද්‍රරත්න පල්ලේගම
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්

දිවිනැඟුම දෙපාර්තමේන්තුවක් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් රටේ විවිධ මත ඉදිරිපත් වෙමින් පවතී. ප්‍රාදේශීය ලේකම්වවරයකු ලෙස කටයුතු කිරීම මඟින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සමඟ මේ සම්බන්ධයෙන් කළ සංවාදයකි මේ.

* අපේ රටේ සුබසාධන රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ඔබේ අදහස් මොනවාද?

ඈත අතීත රජ සමයේ අපේ රටේ පැවතුණේ ස්වයංපෝෂිත ආර්ථිකයක්. වැව - දාගැබ කියන සංකල්පය ස්ථාපිත වී තිබුණා. කෘෂිකර්මාන්තය සශ්‍රීක ලෙස පැවති අතර සෑම නිවසකම වී බිස්සක් තිබුණා. එහෙත් 1505 සිට 1948 දක්වා යටත් විජිත කාලය තුළ අපේ රටේ සමාජ ආර්ථික ව්‍යූහය විපර්යාසයකට ලක් වුණා.

අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධානම අරමුණ වුණෙත් අපේ රටේ වටිනා සම්පත් ඔවුන්ගේ රටවලට ගෙනයාමයි. කෘෂිකර්මාන්තය එයට පිටිවහලක් නොවන බව දැනගත් විට වතු වැවිලි කර්මාන්තයට ඔවුන් යොමු වුණා. ග්‍රාමීය දරිද්‍රතාවයට මුල පිරුවේ වතුවගාව ආරම්භ කළ නිසයි.

මෙමගින් කෘෂිකර්මාන්තය බිඳ වැටුනු අතර 20 වන සියවස වනවිට වී නිෂ්පාදනය ශීඝ්‍ර පසුබෑමකට ලක්වුණා. සහල් ආනයනය කරන තත්ත්වයකට රට පත්වූ අතර ලක්වැසියාගේ ජීවන තත්ත්ව නංවාලීමට සුබසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවීමට එකල පාලනය ගෙනගිය බ්‍රිතාන්‍යයන්ට සිදුවුණා. 1912 දී වෛද්‍ය අවශ්‍යතා පනත වතුවල ක්‍රියාත්මක කිරීම මේ හේතුවෙන් ආරම්භ වුණා.

* සමෘද්ධි අධිකාරිය පිහිටුවීම තෙක් පැමිණි සුබසාධන ගමන් මඟ පැහැදිලි කළොත්

1930 දී, දශකයේ සුබසාධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඩොනමෝර් ප්‍රතිසංස්කරණය ඍජුවම බලපෑවා. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමෙන් සමාජ දරිද්‍රතාවයට රජය මැදිහත්විය යුතු බවට ඉල්ලා සිටීමේ නිල අයිතිය ලැබුණා. ලොව පුරා පැවති ආර්ථික අවපාතය, මැලේරියා වසංගතය තදින් බලපෑම හේතුවෙන් වෙඩර්බන් (Wedderburn) සහ නිව්හැම් (Newham) වාර්තා ඉදිරිපත් වුණා.

වෙඩර්බන් වාර්තාවට අනුව 1935 දී දුගී පනතද 1937 දී හඳුන්වා දුන් කොරයා (Corea) පනත මගින් විරැකියාව, අසරණකම සහ ජනතාවගේ මූලික ගැටලු සඳහා ලබාදී ඇති සහනාධාර ප්‍රමාණවත් නැති බවට දන්වා තිබුණා. ඒ අනුව 1943 දී කන්නන්ගර කොමිෂම, 1947 දී සමාජසේවා පිළිබඳ කොමිසම 1950 දී සෞඛ්‍ය සේවා පිළිබඳ වාර්තාව තුළින් එම ක්‍ෂේත්‍රවල සුබසාධනය සිදුවිය යුතු බව දන්වා තිබුණා.

කන්නන්ගර වාර්තාව මගින් නිදහස් අධ්‍යාපනය, යෝජනා වූ අතර 1948 දී ප්‍රථම උප කුලපති අයිවර් ජෙනින්ග්ස් එය ක්‍රියාත්මක කළා. ඊට පසු ගොවි සුබ සාධන පනත මෙන්ම එස්. ඩබ්. ආර්. ඩී.බණ්ඩාරනායක මහතා ජීවන මට්ටමට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගමනාගමනය ජනසතු කළා. 70න් පසු ආදායම් බදු නොගෙවන අයට පමණක් සහනාධාර ආරම්භ වුණා. 77 පසු පැමිණි ආහාර මුද්දර ක්‍රමය දේශපාලන මුහුණුවරක් ගන්නා අතර අඩු ආදායම්ලාභීන්ට මෙය ලබා දුන්නා.

ජනතාවගේ පරිභෝජන තත්ත්වය සඳහා මෙය ලබා දුන්නත් රටේ සංවර්ධනයට මෙය දායක වූයේ නෑ. 1980 වසරේ ආර්.ප්‍රේමදාස රජය ජන සවියත්, 1994 චන්ද්‍රිකා රජය සමෘද්ධියත් ජනතාවට ලබා දෙනවා. 1995 අංක 30 දරන සමෘද්ධි අධිකාරි පනත කැපී පෙනෙන ලෙස සුබසාධනය නංවාලීමට කටයුතු කළ අතර අනිවාර්ය ඉතිරි කිරීමක් මේ මගින් සිදුකෙරෙනවා.

* දිවි නැඟුම සංවර්ධන නමින් දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට විෂයභාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධව රටේ ව්‍යාකූලතාවක් ඇතිවෙලා තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස් මොනවාද?

1995 පිහිට වූ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියත්, 1996 පිහිට වූ ශ්‍රී ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරියත් 2005 දී පිහිට වූ ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරියත් එක්කර තමයි දිවිනැඟුම දෙපාර්තමේන්තුව පිහිටුවන්නේ. මෙම දෙපාර්තමේන්තුව පිහිටුවන ලෙස සිදුකළ ඉල්ලීම්වලට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. දෙපාර්තමේන්තුවත් කිරීම මඟින් මෙම අංශවල කාර්යක්ෂමතාවය වැඩිකර ගත හැකි වෙනවා.

* මෙම පනතින් පළාත් සභා විෂය පථයට අයත් විෂයයන් මේ දිවිනැඟුම කෙටුම්පතට ඇතුළත් වී තිබෙනවාද?

දිවිනැඟුම පනත යටතේ 5 සහ 6 වගන්තිවලින් පැහැදිලිවට තියෙනවා දිළිඳු බව තුරන් කර සමාජ සාධාරණත්වය ඇතිකරන බවට. 1987 සම්මත වූ 13 වන සංශෝධනය මඟින් පළාත් සභා බලය පැමිණියද ග්‍රාමීය සංවර්ධනය නිර්වචනය කර නැහැ. ග්‍රාමීය හා නාගරික ලෙස වෙනසන් ඇති නොකර දුගී බව තුරන් කිරීම මෙම පනතේ අරමුණ වෙනවා. කොටින්ම කිව්වොත් සමෘද්ධි අධිකාරි පනත ඉදිරියට ගෙනයාමක් මේ මඟින් සිදුවෙනවා. 1995 දී සමෘද්ධි අධිකාරී පනත ගෙන එන විට මෙම තර්ක ගෙනාවේ නැහැ නේද? රට සංවර්ධනය කරා ගෙන යනවා. බලාසිටින්නට බැරි බලවේග තමයි මෙම පනත හොඳ නෑ කියන්නේ.

* රජයේ මුදල් පාලනය හා වගකීම් සම්බන්ධව මේ පනතින් ඇතිවන බලපෑම කුමක්ද?

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා රජයේ දෙපාර්තමේන්තුවක් අනිවාර්යයෙන්ම නව ගිණුම් විගණකාධිපති විසින් විගණනය කර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට. ඊට අමතරව සමෘද්ධි අධිකාරී පනතේ තියෙනවා සමෘද්ධි බැංකු සංගම්වල ගිණුම් සමෘද්ධි අධිකාරියේ සිටින අභ්‍යන්තර විගණකවරයා මඟින් විගණනයට ලක් කළ යුතු බවට. ඒ එක්කම විගණනය කළ ගිණුම් විගණකාධිපති විමසීම්වලට පිළිතුරු ලබා දිය යුතු වෙනවා. සමෘද්ධි බැංකුව කියන්නේ දුගී ජනතාව වෙනුවෙන් ආරම්භ කළ බැංකුවක්. බැංකු පාලනය පිළිබඳ ව පමණක් දිවි නැඟුම පනතෙන් පිටු 5ක් නිර්වචනය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ නියෝජිතයකු මහ බැංකුවේ නියෝජිතයකු මෙහි ගිණුම් අධීක්‍ෂණය කරනවා.

* මෙම පනතේ රහස්‍යභාවය ගැන සඳහන් කරනවා . මේ කුමක්ද?

දිවි නැඟුම පනතේ 38 වන වගන්තිය යටතේ රහස්‍යභාවය පිළිබඳ සඳහන් කරනවා. සමෘද්ධි අධිකාරි පනතේ 18 වන වගන්තිය බලන්න. සියලුම දෙපාර්තමේන්තුවල කටයුතු පිළිබඳව රහස් සුරකින බවට පොරොන්දුවක් තිබෙනවා. මෙය සමෘද්ධි පනතේත් තිබෙනවා. 18 වන වගන්තියට අමතරව 1998 අංක 5 දරන ජාතික ළමා රක්‍ෂණ අධිකාරි පනත, 1995 අංක 30 දරන සමෘද්ධි පනතෙත් රහස්‍යභාවය සුරැකිය යුතු බව සඳහන් වෙනවා. ඊට අමතරව ආයතන සංග්‍රහයේ 6 - 3 වගන්තියේ එවැනි දෙයක් වූ විට ආයතන ප්‍රධානියාට හැකි වෙනවා ඒ සම්බන්ධව පරීක්‍ෂණයක් කර විනය ක්‍රියා මාර්ග ගන්න. මේවා සිදුකරන්නේ අදාළ ආයතනයේ විනය ආරක්ෂා කිරීමටයි.

* දැනට මෙම අධිකාරිවල ඇති මුදල් තනි ඇමැතිවරයකු යටතට වැටෙනවාද?

නැහැ. මෙය සාමාන්‍ය දෙපාර්තමේන්තුවක් සිදුකරන ආකාරයට විගණන කටයුතු සිදුකිරීම් කෙරෙනවා.

* එක් ඇමැතිවරයෙකුට බලතල එකතුවීමක් තුළින් ඇතිවන තත්ත්වය කුමක්ද?

එහෙම බලතල එකතුවීමක් සිදුවන්නේ නැහැ. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය කියන්නේ විශාල වැඩ කොටසක් සිදුකරන අමාත්‍යංශයක්. රට පුරා තිබෙන ග්‍රාම සේවා වසම්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරෙන්නේ මේ අමාත්‍යංශයෙන්, ප්‍රාදේශීය, දිස්ත්‍රික් දේශපාලඥයන් මේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙනවා. එක් අයකුට රුපියල් ලක්ෂ 10 කින් පමණ ගමම සංවර්ධනය සිදුකර ගත හැකි වෙනවා. දිවිනැඟුමේ අරමුණ වන්නේ රටේ ආර්ථික සංවර්ධනය, ආහාර සුරක්ෂිතාව, පවත්වාගැනීමත් ගමට ස්වයං රැකියා ලබා දී ස්වයං පෝෂිත මිනිසුන් බිහිකිරීමත් බව කිව යුතුයි.

* හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙක් වශයෙන් මේ පනත ගැන අදහස කුමක්ද?

ඔව්. මම මහරගම ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස වසර 5ක් කටයුතු කළා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් සංවිධානය කළ කළමනාකරණ තරඟයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමු තැනත් ලංකාවෙන් තුන්වන ස්ථානයත් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් ලැබුණා. මා යටතේ සමෘද්ධි නියාමකයන් 50ක් සමෘද්ධි කළමනාකරුවන් 5ක් සේවය කළා. සමෘද්ධි බැංකු 03 ක් තිබුණා. මේ ලබපු අත්දැකීම් මතයි දිවිනැඟුම පනත මඟින් හානියක් සිදුනොවන බව කියන්නේ. දිවිනැඟුම පනත මඟින් සමෘද්ධි නිලධාරීන් රජයේ සේවකයින් බවට පත්වෙනවා. ඒ වාසිය යන්නේ මේ දුප්පත් ජනතාවටයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා