ගලෙන්බිඳුනුවැව ම.ම.විදුහලේ මධුශානිගෙන් උස පැනීමේ දස්කම්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ

ගලෙන්බිඳුනුවැව ම.ම.විදුහලේ මධුශානිගෙන් උස පැනීමේ දස්කම්

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහ­ත්වරු ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයට පැමිණෙති
ඡ‍ායාරූපය-සුදත් මලවීර

උතුරු මැද පළාතේ ගලෙන්බිඳුනුවැව මධ්‍ය මහ විදුහලේ ඩබ්ලිව්.එම්.නිමේෂා මධුශානි ඇගේ ක්‍රීඩා දිවියේ හොඳම දක්ෂතාව වාර්තා කිරීමට ඊයේ බෙලිඅත්තේදී සමත් වූවාය.

බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ ඊයේ ආරම්භක දිනයේදී මධුශානි වයස අවුරුදු 19න් පහළ බාලිකා උස පැනීම ඉසව්වේ මීටර 1.63ක් සටහන් කළ අතර මෙය මේ ඉසව්වේ ඇයගේ හොඳම දක්ෂතාවයි.

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය පැවතියේ ඉතාමත් උත්කර්ෂවත් අයුරිණි.

දුර පැනීම අවුරුදු 21න් පහළ බාලක ඉසව්වේදී මීටර 7.43ක් දුර පනිමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ඒ.ඩී.ඒ.ප්‍රනාන්දු ය. ඔහු වයඹ පළාතේ වෙන්නප්පුව ජෝසප් වාස් මධ්‍ය මහ විදුහලේ ශිෂ්‍යයෙකි.

ඊයේ පැවැති තවත් පිටිය ඉසව්වකදී හලාවත සාන්ත මරියා පිරිමි විදුහලේ (වයඹ) කේ.කුෂාන් ශෂික මීටර 14.43ක් දුරට යගුලිය දමමින් දස්කම් දැක්වීය. ඔහු තරග වැදුනේ වයස අවුරුදු 17න් පහළ අංශයෙනි.

ඡ‍ායාරූපය
නිශ්ශංක විජේරත්න

තරග ප්‍රතිඵල :
උස පැනීම – අවුරුදු 19න් පහළ බාලිකා

1.ඩබ්ලිව්.එම්.නිමේෂා මධුශානි. 2. ඩබ්ලිව්.ඩී.ටී.එච්.පියරත්න (රත්නපුර සුමනා බාලිකා විදුහල, සබරගමුව) – මීටර 1.57 යි. 3. ජේ.එම්.ටී.කුමාරි ජයසුන්දර (සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා, මධ්‍යම පළාත) සහ කේ.එච්.ඒ.ඩී.කුලතුංග (සේවාමුක්ත කඳුවර මහ විදුහල) – මීටර 1.57 යි.

දුර පැනීම – අවුරුදු 21න් පහළ බාලක

1.ඒ.ඩී.ඒ.ප්‍රනාන්දු. 2. පී.ඒ.සන්ජය ප්‍රනාන්දු (තුඩැල්ල ක්‍රයිස්ට්කිං, බස්නාහිර) – මීටර 7.07 යි. 3.දිමුත් ජයනාත් (හේනෙගම මධ්‍ය මහ විදුහල, බස්නාහිර) – මීටර 6.88 යි.

යගුලිය දැමීම – අවුරුදු 17න් පහළ බාලක

1.කේ.කුෂාන් ශෂික. 2.එච්.එම්.ඩී.විජේගුණවර්ධන (හලාවත සාන්ත මරියා පිරිමි විදුහල, මධ්‍යම පලාත) – මීටර 13.75 යි. 3.ඩබ්ලිව්.ඒ.එම්.මලින්ද මධුසංක (වයඹ) – මීටර 13.48 යි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා