ස්පීඩ් ශූරතාවලියේ තුන්වන අදියර 14 වැනිදා පන්නල ධාවන පථයේදී

ස්පීඩ් ශූරතාවලියේ තුන්වන අදියර 14 වැනිදා පන්නල ධාවන පථයේදී

අදියර තුනකින් සමන්විත වූ ස්පීඩ් ශූරතාවලියේ අවසන් අදියර මේ 14 ඉරිදා පෙරවරු 8.00 සිට පන්නල ස්පීඩ් ඩ්‍රෝම් ධාවන පථයේ පැවැත්වේ.

මේ තරගාවලිය ආසියානු මෝටර් රථ සංගමයේ ප්‍රධානත්වයෙන් මෝටර් ස්පෝර්ට්ස් සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය සහ කාල්ටන් මෝටර් ස්පෝට්ර්ස් යන සංගම් වල සහයෝගීත්වය ඇතිව සංවිධානය කෙරේ.

‍මේ වන විට අදියර දෙකක් සාර්ථකව පවත්වා ඇති මේ තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගත් ඉසව්වක් වන SL-GT 3500cc මෝටර් රථ ඉසව්වේ පෙරමුණ ගෙන තිබෙන්නේ ප්‍රසාද ලකුණු 18ක් දිනා ඇති දිනේෂ් දෙහෙරගොඩ වන අතර තරගාවලියේ ප්‍රධානතම ඉසව්වක් ලෙස සැලකෙන මැක්ලරන්ස් ෆෝර්මියුලා 1300cc ඉසව්වේ ප්‍රසාද ලකුණු 25 ක් හිමි කරගෙන සිටින නවක ධාවක තරිදු ගමගේ පෙරමුණ ගෙන සිටී.

එම ඉසව්වේම ප්‍රසාද ලකුණු 24ක් ලබා සිටින චන්දිම ගුණරත්න දෙවන ස්ථානයේ පසුවන අතර ඔවුන් දෙදෙනාටම හොඳ අභියෝගයක් ලබා දෙමින් රුමේෂ් රාජා කුලේන්ද්‍රන් සහ ක්ලෙමන් සෙනවිරත්න ඔවුන් පසුපසින් සිටිති.

මේ තරගාවලියට අළුතෙන් හඳුන්වා දෙනු ලැබූ මෝටර් රථ ඉසව්වක් වන මැක්ලරන්ස් ඇල්ටො K10 ඉසව්වේ පෙරමුණ ලබා සිටින්නේ පසුගිය වර්ෂයේ මැක්ලරන්ස් ෆෝර්මියුලා 1300cc ඉසවුයේ දස්කම් දැක්වූ ප්‍රවීන් මුඩුගල්ල වන අතර එහි දෙවන ස්ථානයේ රැදී සිටින්නේ යනික් ලෝරන්ස් ය.

එමෙන්ම මේ තරගාවලියේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සහභාගී වන ඉසව්වක් වන SL-H1600cc ඉසව්වේ පෙරමුණ ගෙන තිබෙන්නේ ඩිලාන් සෙනවිරත්න ය. ඔහුට පිටුපසින් සිටින්නේ දිනේෂ් ජයවර්ධනයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා