මැඩම්ගේ උපන් දිනයදා මාරක ගොවීන්ගේ මාරයා ඇවිස්සෙයි

මැඩම්ගේ උපන් දිනයදා මාරක ගොවීන්ගේ මාරයා ඇවිස්සෙයි

බදාදා මහජන දිනයේ කුණ්ඩසාල ප්‍රදේශයේ වාරිමාර්ග කාර්යාලයක උසස් නිලධාරිනියකගේ උපන්දින සාදයක් නිසා මෙදින රාජකාරි ඉටුකරගැනීමට එහි ගිය මිනිපේ යෝධ ඇළ ව්‍යාපාරයේ ගොවීහු පිරිසකට සුන්වුණ බලාපොරොත්තු ඇතිව හිස් අතින් ගම්බිම් බලා යාමට සිදුව තිබේ.

පසුගිය 17 වැනිදා බදාදා දිනයකි. මෙදින රජයේ කාර්යාලවල මහජන දිනයයි. මිනිපේ යෝධ ඇළ ව්‍යාපාරයට අයත් මාරක ප්‍රදේශයේ ගොවීන් පිරිසක් තම කුඹුරුවලට ජලය ලබාගන්නා ඇළක ගැටලුවක් විසඳාගැනීමට ඊට අදාළ නිලධාරිනිය සොයා කුණ්ඩසාල ප්‍රදේශයේ පිහිටි වාරිමාර්ග කාර්යාලයකට ගොස් ඇත.

හිමිදිරි පාන්දරම නිවෙස්වලින් පිටවුණු මේ ගොවීහු මාරක සිට සැතැපුම් 80ක් පමණ දුර ගෙවා මහනුවර කුණ්ඩසාලේ පිහිටි වාරිමාර්ග කාර්යාලයට යනවිට පෙ. ව. 10.00ට පමණ වී තිබිණි.

එදින ප. ව. 2.30 වනතුරු එම කාර්යාලයේ රැඳී සිටියත් තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නට නිලධාරියකු හමුවී නැත. ඔව්හු පසුව සිය උවමනාව කාර්යාල සේවකයකුට පවසා ඇත. එවිට එම සේවකයා පවසා ඇත්තේ අද මැඩම්ගේ උපන් දිනය. ඒකට පොඩි පාටියක් අද හමුවෙන්න බැහැ ලබන බදාදාට එන්න කියාය.

මෙදින මහජන දිනය වුණත් ගොවීන්ගේ ප්‍රශ්නය කුමක්ද කියා අහන්නවත් නිලධාරියකු මේ කාර්යාලයේ සිට නැත. උසස් නිලධාරිනියගේ උපන් දිනයද මෙදිනට යෙදී තිබීම ඊට හේතුවයි. සුළු සේවකයකු හැර වගකිවයුතු නිලධාරීන් කිසිවකු ඔවුන්ගේ ආසනවල දකින්නට ලැබී නැත. උසස් නිලධාරීන් උපන් දින සමරද්දී අසරණ ගොවීන්ට සිදුවුන මේ අවනඩුව කාට කියන්නදැයි ඒ ගොවියෝ විමසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා