දහසේ දීමනාව පාදුක්කට ගැටලුවක්

දහසේ දීමනාව පාදුක්කට ගැටලුවක්

වයස අවුරුදු හැත්තෑවට වැඩි, වැඩිහිටි පුද්ගලයන්හට රුපියල් දහසේ මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇති අතර, මහජන ආධාර හා අඩුආදායම් ලබන සමෘද්ධිලාභීන්ට ද මෙය හිමි වේ. වර්ෂ 2012 වර්ෂයේ අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම යටතේ, සමාජ සේවා අමාත්‍යාංශයේ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂගේ එන්. එස්. ඊ/ඊ. එම්. ඒ/ 1/2012 චක්‍රලේඛයට අනුව එම දීමනාව ලබාදීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව පාදුක්ක, හෝමාගම, ඉංගිරිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල හරහා පුද්ගලයන් 1200කට වැඩි ප්‍රමාණයකට ගෙවීම් සිදු කෙරෙන බව තැපැල් ආරංචි මාර්ග පවසයි.

මේ දීමනාව ජාතික ඉතිරිකිරීමේ බැංකුව, තැපැල් කාර්යාල ගිණුමක් හරහා සිදු කරන්නේ නම්, පළමුව මේ පොත් 1200 කට ම, පාදුක්ක කාර්යාලයේදී සෑම මසකම, මුදල් ගිණුමට ඇතුළත් කිරීමට පාස් පොත් යාවත්කාලීන කළ යුතුය. මේ ගිණුම් පරිගණක ගත කිරීමේ දී එක් අයකුට විනාඩි තුනක පමණ කාලයක් ගතවෙන බව ඔවුහු පෙන්වා දෙති.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනටම බෙදී යන ආකාරයට අවම වශයෙන් පාස් පොත් 700කට වැඩි සංඛ්‍යාවක් අපේක්ෂා කරන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. එවැනි ගිණුම්වලට මේ පාස් පොත්වලින් මුදල් ගෙවීමේ දී පාස්පොත් යාවත්කාලීන කර, අදාළ පෝරම නිවැරැදිව පුරවා ඇත්දැයි පරීක්‍ෂා කර නැවත අයිතිකරුගේ අත්සන් දෙකක් පෝර්මයේ ලබා ගෙන, ජාතික හැඳුනුම්පත ද පරීක්‍ෂාකොට නැවත පරිගණකය හරහා දත්ත ඇතුළත් කොට, පාස් පොත් ද මුද්‍රණය කොට, අයිතිකරු, වෙත මුදල් ගෙවීමට සිදුවේ.

මේ සඳහා එක් අයකුට විනාඩි හතක පමණ කාලයක් ගතවේ. ජාතික ඉතිරි කිරීමේ පරිගණකයට මුදල් ගනුදෙනු කිරීමේ දී පැය 15 ක් තුළදී ගනුදෙනු අවසන් කළ යුතුයි. ඒ අනුව දවසකට කළ හැකි උපරිම ගිණුම් ගණන 60 කි. ඒ අනුව ගිණුම් 700කට ගෙවීමට දින 12ක් පමණ කාලයක් ගතවෙයි.

ඉතිරි කිරීමේ ගිණුම්, ගිණුම් හිමියන් 400ක් පමණ මේ කාර්යාලයේ පාලිත උප තැපැල් කාර්යාල 17 කින් මුදල් ලබා ගැනීම සිදු කරති. එම සියලු ගනුදෙනු, ගිණුම් ලැබීමෙන් පසු පරිගණකයට යොමු කෙරේ.

ඒ අනුව පාදුක්ක තැපැල් කාර්යාලයට ගැටලු රැසක් පවතින බව එක් ඬලධාරියෙක් පැවැසීය. එනම්, මේ කාර්යාලයේ මුදල් ගනුදෙනු කිරීමට ඇත්තේ කවුළු දෙකක් වන අතර සේවක හා නිලධාරී හිඟය මත එක් කවුළුවක් පමණක් ක්‍රියාත්මක වෙන බව ඔහු පැහැදිලි කළේය.

ඒ නිසා දැනට තැපැල් දෙපාර්තමේන්තුව මඟින් දියත් කර ඇති ප්‍රචාරණ වැඩ පිළිවෙළ මඟින් තවත් ගනුදෙනු වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති වන බව ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර මෙවැනි සේවාවන් වශයෙන් දෙපාර්තමේන්තුවට ආදායමක් නොලැබෙන සේවාවන් ඉටුකිරීමේ දී මහජන ආධාර හා විශ්‍රාම වැටුප් ගෙවන පරිදි ලැයිස්තුවක් මඟින් ගෙවීමට හැකි වන පරිදි, කටයුතු සලසාදීම පහසුකමක් වනු ඇති බව ඔවුහු පැවැසූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා