දේවහූව වෙද සත්හලට දෙයියන්ගේම පිහිටයි!

එදා පැය විසිහතරම අද පැය අටක් යාන්තමින් ...

දේවහූව වෙද සත්හලට දෙයියන්ගේම පිහිටයි!

පවුල් පන්දහසකගේ පමණ ප්‍රයෝජනයට ඉදිකර ඇති දේවහූව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විනාශයේ දොරටු කරා ගමන් කරමින් තිබේ. මෙය 1950 වසරේ පමණ ආරම්භ කළේ දේවහූව ගොවිජනපදය පටන් ගැනීමත් සමගය. ඒ වන විට මෙය බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කරනු ලැබුවද 1965 දී පමණ ඊට මාතෘ නිවාසයක් ද එක්විය. ඒ නිසා ගැබිනි මවුවරුන්ට දරු ප්‍රසූතිය සඳහා දුර බැහැර රෝහල්කරා යාමට අවශ්‍ය නොවීය. ඒ කාලයේදී පැය 24 සේවාවන් එම ආයතනය විසින් ජනතාවට සපයන ලදී. අභාග්‍යයකට මෙන් අද ඒ සහන කිසිවක් රෝගීන්ට නොලැබේ. පැය අටකට සීමා වූ බාහිර රෝගීන්ට වෙන් වූ සේවාවක් පමණක් එහි පවත්වාගෙන යයි.

මේ පිළිබඳව ප්‍රදේශවාසීහු මෙසේ කීහ.

ගලේවෙල හදිසි මරණ පරීක්‍ෂක එච්. එම්. ටී. බී. කොස්වත්ත මහතා

මේ ඒකකය නඟා සිටුවන්ට කිසිම ඕනෑකමක් බලධාරීන්ට නෑ. එහි ජල ප්‍රශ්නය උග්‍ර වී තිබෙනවා. මේ ඒකකය ආරම්භකර දශක 6ක් පමණ වෙනවා. නමුත් ස්ථිර ජල යෝජනා ක්‍රමයක් ලබාදීමට බලධාරින් අපොහොසත් වෙලා.

මේ මධ්‍යස්ථානයට අයත් ගොඩනැඟිලි ගරාවැටිලා. ඒවා ආරක්‍ෂාකර ගැනීමට කිසිම වැඩපිළිවෙළක් නෑ. දන්ත ශල්‍යාගාරයේත්, සේවක අඩුපාඩු ආදිය සම්පූර්ණකර මෙය ප්‍රදේශයේ ජනතාවට සේවයක් සැලසිය හැකි වන පරිදි සකස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඩබ්ලිව්. ජී. ජේමිස් (65) මහතා මගේ දරුවන් හතර දෙනෙක් ඉපදුනේ මෙම දේවහූවේ මාතෘ නිවාසයේ. මෙම ස්ථානයට අල්ලපු වැටේ මම පදිංචිව ඉන්නේ. වෛද්‍ය නිල නිවාසයේ ඉදිකිරීම් අතර මග නවතලා එහි තිබු භාණ්ඩ හොරු ගලවාගෙන ගිහින් මිලියන ගණන් වැයකර ඉදිකළ ගොඩනැඟිලි ගරාවැටිලා කිසිම ආරක්‍ෂාවක් නෑ. මේවා ජාතික අපරාධ මහත්තයෝ...” සුරංග සමන්ප්‍රිය මහතා දිවා රාත්‍රී ප්‍රතිකාර ලබාගත හැකි වන පරිදි මේ මධ්‍යස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කර දුන්නොත් ලොකු පිනක්.

එම්. තිලකරත්න මහතා

මෙහි මුලුතැන්ගෙයක්, වාට්ටුවත්, මෝචරියත් වැසිකිළි ආදී රෝහලකට අවශ්‍ය අංග හැම එකක්ම තිබෙනවා. ඒත් මාතෘ නිවාස වාට්ටුවේ තිබූ ඇඳන් පවා අරගෙන ගිහින්. අපි වගේ දුප්පත් අයට ඇයි මේ විදියට කෙනෙහිලිකම් කරන්නේ. දැන් මෙහි ප්‍රතිකාර පැය අටකට සීමාවෙලා. ඊට පසු රෝගියෙක් ආවේත් ධනය, ශ්‍රමය, කාලය මිඩංගු කරගෙන දඹුල්ල හෝ ගලේවෙල රෝහල්වලට යන්නට වෙනවා. ඒක දුප්පතුන්ට කරන හරිම අපරාධයක්.

ජී. ආර්. සමරතුංග මහතා

දවසකට පැය අටක් බාහිර රෝගීන් 200කට පමණ ප්‍රතිකාර කරනවා. වෛද්‍යවරු දෙදෙනෙක් ඉන්නවා. ඒ අයට නිල නිවාස නැති නිසා ගෙදර ඉඳල එන්නේ. දි.වෛ. නි. නිල නිවාසය බාගෙට හදල තිබෙන්නේ. අපි වගේ දුප්පත් අයට ඇයි මෙහෙම සලකන්නේ. මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය, අඩුපාඩු සම්පූර්ණ කරල තිබුණා නම් අපි දුරබැහැර රෝහල්වලට යන්න ඕනේ නෑ.

දේවහූව ගොවිජනපදය ආශ්‍රිතව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඇති අඩුපාඩු දිනෙන් දින එකින් එක වැඩිවෙමින් පවතී. එබැවින් බලධාරීන්ගේ අවධානය කඩිනමින් මේ වෙත යොමුවිය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා